මහජන මුදල් වංචා කිරීම හෝ දූෂණයට සම්බන්ධ වන කිසිදු පුද්ගලයෙකුට වර්තමාන රජය යටතේ සමාවක් නොලැබෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (10) අරලියගහ මන්දිරයේ පැවති “ප්‍රජා සවියට නව බලයක්” තේමාව යටතේ ජාතික ප්‍රජා සවිබලගැන්වීමේ මාසය ආරම්භ කිරීම නිමිත්තෙන් පැවති සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන අමතමිනි.

දරිද්‍රතාව තුරන් කිරීම එක් ආයතනයක පමණක් වගකීමක් නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන් ප්‍රජා සංවර්ධන සභා හරහා ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

සුබසාධන ප්‍රතිලාභ සැබෑ අවශ්‍යතා ඇති පිරිසට නිසි ලෙස ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බවත්, මූල්‍ය විනය ආරක්ෂා කිරීම සඳහා දැඩි අවධානය යොමු කරන බවත් ඔහු පැවසීය.

එමෙන්ම, සියලු රාජ්‍ය නිලධාරීන් දේශපාලන බලපෑම්වලින් තොරව ජනතා අභිලාෂයන් හඳුනාගෙන වගකීමෙන් කටයුතු කළ යුතු බවත්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ගෞරවනීය රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සියලු නිලධාරීන්ගේ වගකීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.