පළමුවන ලෝක යුද්ධයෙන් පසුව බ්‍රිත්‍යානය පාලකයින් විසින් ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිතව ඉදිකරන ලද මෙම තෙල් ගබඩාකරණ පර්යන්තය තෙල් ටැංකි 101 කින් සමන්විත විය.
පසුව සිදුවූ අනතුරකින් තෙල් ටැංකි දෙකක් විනාශ වූ අතර ඉන් එක් ටැංකියක් අලුත්වැඩියාවට ලක්කිරීමෙන් පසු භාවිතයට ගත හැකි මට්ටමට පත්කර ඇති අතර එම නිසා වර්තමානයේ මෙම සංකීරණයේ තෙල් ටැංකි 100ක් පවතී. මෙය ආසියාවේ ඇති විශාලතම තෙල් ටැංකි සංකීරණයකි.
ඉහල කොටස සහ පහල කොටස වශයෙන් කොටස් දෙකකින් සමන්විත මෙම තෙල් ටැංකි සංකීරණයේ පහළ කොටසේ තෙල් ටැංකි 20ක් පමණ ඉන්දියන් ඔයිල් සමාගම විසින් භාවිතයට ගනු ලබයි.
1983 දී ඇතිකරගන්නා ලද ඉන්දු – ලංකා ගිවිසුම ප්‍රකාරව මෙම තෙල් ටැංකි ඉන්දියාව සමඟ එක්ව සංවර්ධනය කල යුතුය යන ස්ථාවරයට දෙරටම එකඟවී ඇති අතර එම හේතුව නිසා 2003 වසරේදී මෙම තෙල් ටැංකි රනිල් වික්‍රමසිංහ රජය විසින් ඉන්දියන් ඔයිල් සමාගම වෙත පවරාදීමට කටයුතු කරන ලදි.
පසුගිය සමයේදී මෙම තෙල් ටැංකි සංකීරණය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට පවරාගෙන සංවර්ධනය කිරීමට කටයුතු කරන ලෙස විවිධ කණ්ඩායම් ආණ්ඩුවට බලපෑම් කර සිටින අතර චීනයේ අදිසි හස්තයට හසුව ක්‍රියාකරන වෘත්තීය සමිති, බෞද්ධ භික්ෂූන් සහ විවිධ දේශපාලන කණ්ඩායම් දේශීය සම්පත් සුරැකීමේ ලේබලය යටතේ ඉන්දීය විරෝධය අවුලවමින් සිටී.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා සිය ශ්‍රී ලංකා සංචාරයේදී ත්‍රී’මලේ තෙල් ටැංකි සOකීරණය නිරීක්ෂණය කිරීම සදහා ගිය අතර එය කිසිසේත්ම හුදු නිරීක්ෂණ චාරිකාවක් නොව අත්පත් කරගැනීමේ චාරිකාවක් බව සැඟවීමට අවශ්‍ය නැත.
”පසුගිය ආණ්ඩු විසින් මේ තෙල් ටැංකි ඉන්දියාවේ භුක්තියට ලබාදීලා ඉවර නිසා ඒ අයට සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒ තෙල් ටැංකි බලන්න යන්න. ඒකට කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ” යනුවෙන් ඉන්දීය විදේශ ලේකම්වරයාගේ සංචාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් කල විමසුමකදී ප්‍රකාශ කලා.
බලශක්ති අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඊයේ(06) පාර්ලීමින්තුව අමතමින් ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කරුණු පැහැදිලි කලා.
මෙම තෙල් ටැංකි සංකීරණය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කොට භාවිතා කිරීම සඳහා ඉන්දියාව දැඩි කැමැත්තකින් සිටී. එයට හේතුව වනුයේ ත්‍රීකුණාමලය වරාය ආශ්රිත කලාපයේ ඇති භූ දේශපාලනික වැදගත්කමයි.
ත්‍රීකුණාමලය වරාය පිහිටා ඇත්තේ අග්නිදිග ආසියාවට විවෘතවය. අද ලෝකයේ සීඝ්රයෙන් දියුණු වෙමින් පවතින කලාපය වනුයේ අග්නිදිග ආසියානු කලපයයි. මෙම කලාපය සමඟ ගණුදෙනු සිදුකල හැකි ප්‍රධාන මට්ටමේ වරායක් ඉන්දියාව සතුව නැත. ඔවුන්ට ඒසදහා ඇති හොදම විකල්පය ත්‍රීකුණාමලයයි.
ත්‍රීකුණාමල වරාය ලෝකයේ ඇති විශාලතම ස්වභාවික වරායක් ලෙස හැදින්වෙන අතර එහි නැව් නතරකර තිබීමේදී ප්‍රචන්ඩකාරී දියරැල් වල බාධාවකින් තොරව වරාය කටයුතු සිදුකර ගැනීම සදහා අවශ්‍ය ස්වභාවික පිහිටීම එම වරාය සතුය.
ඉන්දියාව දැන් සීග්‍රයෙන් ආර්ථික දියුණුව කරා ගමන් කරමින් සිටින අතර චීනය හා “නිරවි” යුද්ධයකට පිවිස ඇත. චීනය විසින් ශ්‍රී ලංකාව සිය අණසකට අත්පත් කරගැනීමට උත්සාහ කිරීම ගැන ඉන්දියාව පසුගිය සමය පුරාම සිය නොසතුට පළකර ඇත. දැන් ශ්‍රී ලංකාවටද ඉන්දියාව කළමනාකරණය කිරීම සඳහා ත්‍රීකුණාමලය වරාය සහ තෙල් ටැංකි ආශ්රිත කලාපය ඉන්දියාවට ලබාදීමට සිදුව තිබේ.
ශ්‍රී ලංකාවට ත්‍රී’මලේ වැදගත් ඇයි?
ත්‍රී’මලේ වරාය ශ්‍රී ලංකාව විසින් නිසි ලෙස උපයෝජනය නොකල මහා විශාල ආර්ථික ශක්‍යතාවයකින් යුතු වත්කමක් බව මීලඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙතැයි අනුමාන කරන විපක්ෂයේ ප්රමුඛ දේශපාලන නායකයෙකුගෙන් අප කල විමසුමකදී ප්‍රකාශ කලා. ජාතික භෞතික සැලසුම ප්‍රකාරව කොළඹ – දඹුල්ල අධිවේගී මාර්ගය කඩිනමින් ත්‍රී.මලේ දක්වා දීර්ඝ කලයුතු සේම, ත්‍රී’මලේ වරාය සහ ඒ ආශ්රිත නැගෙනහිර වෙරළ තීරය අග්නිදිග ආසියාව ඉලක්ක කරගනිමින් සංවර්ධනය කල යුතු බව ඔහු වැඩිදුරත් ප්‍රකාශ කලා.
එහිදී තොරතුරු තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික නිපයුම්, නවීන කෘෂිකර්මය යන විෂයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කල යුතු බවයි ඔහු ප්‍රකාශ කලේ.