ජනතාද්‍රෝහී ලෙස ජනතා විරෝධීව තෙල් මිල වැඩි කිරීමට හා ගම්මන්පිල ඇමතිවරයාව ආරක්ෂා කිරීමට සහාය ලබාදුන් මන්ත්‍රීවරුන්ගේ ආසනවලට ගොස් ඔවුන් කරපු ජනතාද්‍රෝහී ඒ කුමන්ත්‍රණකාරී ක්‍රියාපිළිවෙත රටටත් ජනතාවටත් හෙළිදරව් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා මෙසේ පැවැසූයේ ඊයේ (ජූලි 20) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට එක්වෙමිනි.

එහිදී විපක්ෂ නායකවරයා මෙසේ ද කීය. 

“තෙල් මිල වැඩි කිරීමට පක්ෂව රජයේ වහලුන් බවට පත්වන කොට්ඨාසය කවුරුන් ද යන්න මෙම විශ්වාසභංගයෙන් බොහෝ ම හොඳින් පැහැදිලි වෙනවා. අපි හිතන්නට ඕන තෙල් මිල වැඩි කරනවාට අත උස්සන එක දේශප්‍රේමී ද දේශද්‍රෝහී ද කියලා. එසේ නොමැතිව තෙල් මිල වැඩි කරපු අයට විශ්වාසභංගයක් ගෙනැල්ලා බලකිරීමක් කරලා ඒ අයව පීඩනයට ලක් කරලා වහාම තෙල් මිල අඩු කරන්නට ඕන යන ස්ථාවරයේ ඉන්න මන්ත්‍රී කණ්ඩායම දේශප්‍රේමය ද දේශද්‍රෝහී ද කියන එක ගැන රටේ ජනතාවට බොහො ම පැහැදිලිව තෝරාගන්න පුළුවන් අවස්ථාවක්.  

අද සමහරක් රජයට වහල් වෙලා වරදාන වරප්‍රසාද ප්‍රතිලාභවලට වහල් වෙලා හැටනව  ලක්ෂයේ ජනවරම අමතක කරලා තෙල් මිල වැඩි කරනවාට පක්ෂපාතීව ඡන්දය දුන්නා. ජනතාව සිතිය යුතුයි එසේ කටයුතු කරපු අය දේශානුරාගයෙන් පිරුණු අය ද කියලා. අපි මේ විශ්වාසභංගය ගෙනාවේ රටට මෙය හෙළිදරව් කිරීමටයි. රටේ ජනතාවට පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් යම්කිසි අතපසුවීමක් සිදුවූවා නම් ඒ ඉදිරි අනාගතයේදී නිවැරදි කරගත යුතුයි. ඒ නිවැරදි කිරීමේ ගමනේදී ජනතාව දැනගත යුතුයි මන්ත්‍රීවරු සිටින්නේ වරප්‍රසාද පැත්ත ද නැත්ද නැත්නම් ජනතාව පැත්තේ ද කියන එක. 

එම නිසා හොඳට අවබෝධ කරගත යුතුයි ඉස්සර වගේ විශ්වාසභංගයක් එනකොට ආණ්ඩුව ආරක්ෂා කරලා හොඳින් සුවසේ රිසිසේ ගත කරපු කාලය අවසන්. සමගි ජන බලවේගය මේ ඉෂ්ට කරන්නේ පොදු ජනතාවගේ අයිතිය ආරක්ෂා කිරීමයි. ඒ අය වෙනුවෙන් කරන ජනතා වගකීමයි.”