කෘෂිකාර්මික කටයුතු නොවන වාණිජ කටයුතු සඳහා භූගත ජලය පාවිච්චි කිරීමේදී ඒ සඳහා ගාස්තු අය කිරීමට තීරණය කර ඇති අතර ඊට අදාළව ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට ජුලි 12 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත.

මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමේ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම පැවසුවේ කෘෂිකාර්මික නොවන වාණිජ කටයුතු සඳහා භූගත ජලය ලබා ගැනීමේදී බලපත්‍රයක් ලබා ගැනීම දැනටත් සිදුකළ යුතු වූවත් එය නියාමනය කිරීමේ ක්‍රමවේදයක් නොමැති බවයි. ලබා ගන්නා භූගත ජලය වෙනුවෙන් ගාස්තුවක් අයකර වැසි කාලයේදී භූගත ජලය නැවත පිරවීම සඳහා අරමුදලක් ඇතිකිරීම මේ මගින් සිදුවන බව ලේකම්වරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒ සඳහා භූගත ජලය ලබා ගන්නා ස්ථානවල මීටර් සවිකිරීමට සිදුවන බවය.