ත්‍රස්තවාදි කණ්ඩායම් සිය සංවිධානාත්මක අපරාධ, සයිබර් අවකාශය හා විද්‍යුත් සන්නිවේදන ක්‍රම භාවිත කරමින් සිදු කිරීමේ ප්‍රවණතා සලකා බලා ඒවා වැළැක්වීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ පහසුව සඳහා නීති ඇතුළත් නව පනත් කෙටුම්පත් 2ක් සැකසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, පොලිසිය ඇතුළු ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළව සයිබර් ආරක්ෂාවේ විධිවිධාන ඇතුළත් ‘ආරක්ෂක සයිබර් විධිවිධාන පනත’ නමින් කෙටුම්පතක් සකස් කිරීමට කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

එමෙන් ම, ජාතික ආරක්ෂාවට අදාළ කරුණු හැරුණු විට ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා නියාමන රාමුවක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත සකස් කිරීමේ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රට තුළ සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමේ නීතිමය පසුබිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ යෝජනා ආරක්ෂක අමාත්‍යවරයා සහ තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත.