සෞඛ්‍ය වෘත්තීය සමිති 13 ක් අද සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. එම වෘත්තීය සමිති ඉකුත් දින කිහිපයේදීද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වු අතර ඊයේ දක්වා විසදුම් ලබා දීමට බලධාරින්ට අවස්ථාව ලබා දී තිබුණා. කෙසේවෙතත් සෞඛ්‍ය බලධාරීන් සිය ඉල්ලීම්වලට පැහැදිලි විසදුමක් ලබා නොදීම හේතුවෙන් අද පෙරවරු 08 සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බවයි පරිපූරක වෛද්‍ය සේවා එක්බද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ.

මෙම වර්ජනය හේතුවෙන් පී සී ආර් පරීක්ෂණවලටද බාධා එල්ල විය හැකි බවද මෙහිදී පැහැදිලි කෙරුණා.

මේ අතර ගිලන් රථ රියදුරන්ද සිය ගැටළුවලට විසදුම් ලබානොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වනවා. වැටුප් විෂමතා, වාර්ෂික නිල ඇදුම් දීමනාව සහ කොවිඩ් අනතුරු දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඔවුන් සෞඛ්‍ය බලධාරීන් වෙත ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රතිකාර ලබා ගැනීමට ඉකුත් දිනවල රෝහල් කරා පැමිණි ජනතාව සඳහන් කළේ සෞඛ්‍ය වෘත්තීය සමිති මෙම අවස්ථාවේ සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ගය සාධාරණ නොවන බවයි. 

දිගින් දිගටම සෞඛ්‍ය වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි ජනතා විරෝධයක්ද එල්ලවෙමින් තිබෙනවා.