තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ධුර කාලයේ ඉදිරි අවුරුදු තුනට අමතරව තවත් අවුරුදු 05ක කාලයක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.

එහිදී කොවිඩ් මර්දනය සඳහා එන්නත් භාවිතයේ වැදගත්කම අවධාරණය කර ඇති ජනාධිපතිවරයා, කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව ලොව ඉදිරියෙන්ම පසුවන රටක් බවට පත්ව ඇති බව ද පෙන්වාදී තිබේ.

ජෛව කෘෂිකර්මාන්තයේ සාධනීය ලක්ෂණ ද මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා විසින් තවදුරටත් පෙන්වා දී ඇති අතර කාබනික පොහොර භාවිතයෙහි වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සඳහා සහය දක්වන ලෙස ද මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ.

එමෙන්ම එම සාකච්ඡාවේ දී පුනර්ජනනීය බලශක්ති භාවිතය සම්බන්ධයෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර අවධානය යොමුව තිබේ.