ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම ජනාධිපතිවරයා භාරගෙන තිබියදි ඒ පිළිබඳ තවදුරටත් කැබිනට් අමාත්‍යවරුන් ප්‍රශ්නකිරීම තුළින් ජනාධිපතිවරයා පිළිබඳ ඔවුන්ට විශ්වාසයක් නොමැති බව පෙනියන්නේ යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ ඊයේ (11) මාධ්‍යයට කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

මෙහිදී ගාමිණි ලොකුගේ මහතා කියා සිටියේ, “වැඩි දෙනාගේ මතය වී ඇත්තේ තෙල් මිල වැඩි කළ යුතු නැතෙයි කියලා මේ වෙලාවේ. ඒකට කුමක් හෝ විකල්ප මාර්ගයක් සොයාගත යුතුයි කියන එක. නමුත් අදාළ ඇමතිවරයා කල්පනා කළා තෙල් වැඩිකිරීම තමයි මේ වෙලාවේ තියෙන විකල්පය කියලා.මම කැබිනට් ඇමතිවරයෙක් ලෙස කියන්නම් මහින්ද රාජපක්ෂ මහතා කොයි ම වෙලාවකවත් ඉන්ධන මිල වැඩිකරන්න යෝජනාවක් ගෙනාවේ නෑ. ජනාධිපතිතුමාවත් කොයි වෙලාවකවත් තෙල් මිල වැඩි කරන්න යෝජනා කළේ නෑ.” යනුවෙනි.

ප්‍රශ්නය – අවුට් වෙලා ගතියක් පේනවා දැන්.

“අවුට් කරගන්න නම් සෑහෙන උත්සහ කරනවා. තාම නොදැවී ක්‍රීඩා කරනවා. දිගු ඉනිමක රහස තමයි සෑම පන්දුවකට ම පිත්ත නොදා සිටීම. “

ප්‍රශ්නය – ඊයේ වෙනකොටත් ඔබතුමා වැරදියි කියන තැන ඉන්නවා රටේ ප්‍රධාන ඇමතිවරු ?

“තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නායක, ආණ්ඩුවේ ප්‍රධානී, අමාත්‍ය මණ්ඩල ප්‍රධානී ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදන අංක 21 /146 කියන නිවේදනය ජුනි මාසයේ 13 වෙනිදා නිකුත් කරලා ඉන්ධන මිල වැඩි කරේ ජනාධිපති ප්‍රධානත්වයෙන් අගමැතිවරයාගේ සහභාගි වුණ ජීවන වියදම් අමාත්‍ය අනුකමිටුවේ දී කියන එක ලිඛිතව ප්‍රකාශ කරලා තියෙනවා. රාජ්‍ය නායකයා එවැනි ප්‍රකාශයක් කරා ට පස්සේ, නායකයා යටතේ ඉන්න අයගෙන් ඒක ඇත්ත ද කියලා අහන එකට අවශ්‍යතාවයක් මතුවෙන්නේ නෑ. ඉන් එහාට කවුරු හෝ ප්‍රශ්න කරනවා කියන්නේ ජනාධිපතිතුමා කියන්නේ බොරු කියලනේ ඔය කියන්නේ.“

ප්‍රශ්නය – ඔබතුමාව මේ ආණ්ඩුවෙන් එළවන උත්සහයක ඉන්නවා කිව්වොත් ඔබතුමාගේ පිළිතුර කුමක් ද?

“මට ඒක අදාළ ම නෑ. මාව එළවනවා ද නැද්ද කියලා හොයලා බලලා මගේ කටයුතු වෙනස්කර ගන්න නම් මම සුදානම් නෑ. බල්ලෝ බුරාවී. බුරන බල්ලන්ට ගල් ගහන්න නතර වුණොත් මගේ ගමන මට යන්න වෙන්නේ නෑ.“