කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය ෆේස් බුක් ගිණුමේ ලංකා පොස්පේට් සමාගම පිළිබඳ සටහනක් තබා තිබේ.

වසර ගණනාවක් පාඩු ලැබූ ලංකා පොස්පේට් සමාගම තමා විසින් ලාභ ලබන තත්ත්වයකට පත්කළ පසු එය වෙනත් අමාත්‍යාංශයක් යටතට පවරා ඇති බව එම සටහනේ දැක්වේ.

මේ අතර, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා යටතේ පැවති සිමාසහිත ලංකා පොස්පේට් සමාගම 
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා යටතට පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගැසට් නිවේදනය නිකුත් වීමත් සමඟ කර්මාන්ත ආමත්‍ය විමල් වීරවංශ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කළේ, 2015 සිට 2020 දක්වා පාඩු ලබන තත්ත්වයට පත්වෙමින් තිබූ ලංකා පොස්පේට් සමාගම 2020 අවසන් කාර්තුවේ සිට තමා අමාත්‍යධුරය හෙබවූ කර්මාන්ත අමාත්‍යාංශයට පැවරීමත් සමග වාර්තාගත මෙහෙයුම් ලාභයක් උපයා ඇති බවය.

ඒ අනුව පොස්පේට් සමාගම නිෂ්පාදනය කරන පොහොර වැඩසටහනක් එප්පාවල පොහොර නමින් ජනගත කිරීමටද පසුගිය කාලයේ කටයුතු කළේය.

විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ, තමා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස වසර එකහමාරකට ආසන්න කාලයක් ලංකා පොස්පේට් සමාගමට ඔවුන්ගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය සහයෝගය හැකි අයුරින් ලබා දුන් අතර එම ආයතනයේ පරිපාලනයට හෝ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් සිදුනොකළ බවය.

සාර්ථකව ආයතනය පවත්වාගෙන යෑමට ඉඩ සළසා දුන් තමන් කිසිදු නව සේවකයෙක් බඳවා නොගත් බවද අවධාරණය කරයි.

තමා විසින් ලාභ ලබන තත්ත්වයට ගෙන ආ ලංකා පොස්පේට් සමාගම ඉදිරියටත් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යනු ඇතැයි බලාපොරොත්තු වන බවද අමාත්‍ය විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණි.

විමල් වීරවංශ මහතා යටතේ පැවති රාජ්‍ය සමාගමක් මෙලෙස ඉවත් කිරීමට පෙර ඊයේ ඔහුගේ අමත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතා එම තනතුරින් ඉවත් කර තමාව විශ්‍රාම ගැන්වීමට අවසර දෙන ලෙස ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ.

ඒ අනුව එම පුරප්පාඩුවට හිටපු වරාය සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පත්කෙරුණි.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකා පොස්පේට් සමාගම තමා යටතට පැවරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම මහතා මෙලෙස අදහස් පළ කළේය.

“මේකට මුලික හේතුව මම හිතන්නේ, ලංකා පොස්පේට් ආයතනය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට තමයි පහුගිය කාලයේ තිබුණේ. මේ වන විට රජය කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කරලා තියෙන වෙලාවේ අපිට පොස්පේට් නිෂ්පාදනය ඉතාම වටිනවා. පොස්පේට් නිෂ්පාදනය කිරීමේ වැඩකටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.“

විමල් වීරවංග අමාත්‍යවරයා පළ කර තිබු ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.