ගුරු – විදුහල්පතිවරුන් සේවයට කැඳවීමට අධ්‍යාපන ලේකම්වරයා මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කරමින් නිවසේ සිට ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් සිදුකරන ලෙස දන්වමින් සියලුම අධ්‍යාපන නිලධාරීන් වෙත ලිපියක් නිකුත් කර තිබේ.

එම ලිපියට අනුව දැක්වෙන්නේ කොවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය මත සියලුදෙනා රාජකාරියට කැඳවීම අත්‍යාවශ්‍ය නොවන බැවින් පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලවලට නිවසේ සිට රාජකාරි කළ හැකි බවය.

සේවා ස්ථානයට නොපැමිණ නිවසේ සිට රාජකාරි ඉටුකරනු ලබන කාල සීමාව තුළ ගුරුභවතුන් මාර්ගගත ක්‍රමයට හෝ වෙනත් විකල්ප ක්‍රම භාවිත කොට සිසු සිසුවියන්ට ඉගැන්වීම් කළ යුතු බවත් එම ලිපියෙහි සඳහන්ය.

කෙසේ වෙතත් ගුරු විදුහල්පති සංගම් පවසන්නේ සිය වැටුප් ගැටලුව විසඳන තුරු අඛණ්ඩව වර්ජනයේ නිරත වන බවය.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකරමින් රටපුරා ක්‍රියාත්මක වූ විරෝධතා සහ පෙළපාලි නැවැත්වීමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති ඊයේ (07) සිට තීරණය කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ සභාපති, ජෝසෆ් ස්ටාලින් පවසා සිටියේ මෙවන් අදහසකි.

“සඳුදා සිට පාසල් එන්න ඕනේ කියලා ඉරිදා රෑ කියන්නේ. 247,000ක් ගුරුවරු, 16,000ක් විදුහල්පතිවරු එක පයින් අපි පාසල් යන්නේ නෑ කියන තැන හිටියා. ගියේ නෑ කිසිකෙනෙක්. ඊට පස්සේ නැවත 4 වෙනිදා ලියුමක් ගැහුවා ගියේ නැතිනම් නිවාඩු දාන්න කියලා. ඉස්කෝලේ ළමයි කැඳවලත් නෑ. පිරිසිදු කරලා නෑ. පාසල් එන්න කියලා ගුරුවරුන්ට ලියුමක් ගහලා. දැන් තව ලියුමක් ගහනවා 6 වෙනිදා ඉස්කෝල් පැමිණීමට අවශ්‍ය නෑ ගෙදර ඉදලා ඔන්ලයින් කරන්න කියලා. මොන ලැජ්ජාවක් නැතුව ද මේක ගහන්නේ. ඔන්ලයින් හරි වෙනත් විකල්ප ක්‍රම හරි කරන්න. ඉතින් සල්ලි දෙන්න එපැයි. තමන්ගේ වගකීම් ඉටුකරන්නේ නැතුව ගුරුවරුන්ට ලියුම් ගහනවා.”

මේ අතර ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද කොළඹදී සාකච්ඡාවක නිරත විය.

එම අවස්ථාවේ දී අදහස් දක්වමින් ජෝසෆ් ස්ටාලින් මහතා පවසා සිටියේ මෙම අරගලයේ තීරණාත්මක දිනය හෙට වන බවය.