බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම ජය ගෙන තිබේ.

මෙම තරගයේදී කේෂාව් මහරාජ් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීම විශේෂත්වයකි.

ශාන්ත ලුසියාහිදී පැවැති මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 298 ක් රැස් කළේ ය.

ඊට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 149 ක් පමණි.

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම ලකුණු 174 කට සීමා වුණු අතර ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 324 ක ඉලක්කයක් හිමි විය.

එම ඉලක්කය හඹා ගිය කොදෙව් ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 165 ක් පමණි.

කිරන් පවෙල් ලකුණු 51 යි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කේෂාව් මහරාජ් කඩුලු ත්‍රිත්වක් දවා ගත්තේ ය.

ඒ, කිරන් පවෙල්, ජේසන් හෝල්ඩර් සහ ජොෂුවා ද සිල්වා යන කොදෙව් පිතිකරුවන්ගේ කඩුලු දවා ගනිමිනි.

කේෂාව් මහරාජ් ලකුණු 36 කට කඩුලු 5 යි.

ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 158කින් දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගත්තේ ය.

තරගයේ වීරයා ලෙස දකුණු අප්‍රිකාවේ කාගිසෝ රබාඩා ද තරගාවලියේ වීරයා ලෙස දකුණු අප්‍රිකාවේ ක්වයින්ටන් ඩී කොක් ද සම්මානයෙන් පිදුම් ලැබුහ.