පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ප්‍රමාද බවට විවිධ පාර්ශව සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේපකරන බව මහජන ආරක්ෂණ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරට සහ ලෝකයේ මෑතක සිදුවු ත්‍රස්ත ප්‍රහාරවලට අදාළව සිදුකළ පරික්ෂණවලට සාපෙක්ෂව වත්මන් රජය බලයට පත්වූ පසු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු වේගවත්ව සිදුකර ඇති බවය.

මේ වන විට පාස්කු ප්‍රහාරයට අදාළව මහාධිකරණ 05ක නඩු 09ක් පවරා ඇති බවත් 25 දෙනෙකුට අධිචෝදනා ගොනුකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට අමතරව තවදුරටත් විමර්ශන සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ද පත්කර ඇති අතර මෙම ප්‍රහාරයට අදාළව චෝදනා 23,700 මේ වන විට පවරා ඇත බවත්  අමාත්‍ය සරත් වීරසේකර පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ වසර 2 1/2කට ආසන්න කාලයක් තුළ පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකර ඇති විමර්ශනයන් සෑහිමකට පත්විය හැකි තත්ත්වයක පවතින බවය.