කොතලාවල පනත පරදවමු අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහි වෙමු’ යන තේමාව මුල් කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් මෙන්ම සිවිල් සංවිධාන ගණනාවක් එක්ව සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාර රැසක් කොළඹ ලිප්ටන් වට රවුම අසලදී අද (05) සවස පැවැත්විණ.

සමගි ජන බලවේගය පැවැත්වූ උද්ඝෝෂණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටි අතර, ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින්පැවති විරෝධතාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් , මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතාගේ ප්‍රධානත්වයෙන් 43 සේනාංකය නැමැති සංවිධානය මගින් පැවැත්වූ උද්ඝෝෂණය ද ලිප්ටන් වටරවුම ආසන්නයේ පිහිටි බැප්ටිස් දේවස්ථානය අසල දී පැවැත්විණ. හිටපු පළාත් සභා මන්ත්‍රී කීර්ති ශ්‍රී වර්ණසිංහ ,හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ කරුණාරත්න පරණවිතාන ඇතුළු 43 සේනානායයේ ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන් රැසක් ද එයට එක්ව සිටියහ .

කොතලාවල පණතට විරෝධය දක්වමින් විශ්ව විද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය ද ලිප්ටන් වටරවුම අසල ම විරෝධතාවයක යෙදිණ. ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විශ්වවිද්‍යාලය අධ්‍යයන සේවක මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මීට අමතරව කම්කරු අරගල මධ්‍යස්ථානය ද තම විරෝධය කොතලාවල පනතට එරෙහිව දක්වන අයුරු ද මෙහි දී දැකගත හැකි විය.පුබුදු ජයගොඩ මහතා ඇතුළු එම මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීන් රැසක් ඔවුන්ගෙ විරෝධතාවය දැක්වීම සඳහා සහභාගි වී සිටියහ.