ආනයනික කිරිපිටි මිල වැඩි කරන ලෙස කිරිපිටි ආනයනික සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ලෝක වෙළදපොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ නැව් ගාස්තු ඉහළ යාම හේතුවෙන් මිල ඉහළ දැමීමටයි අදාළ සමාගම් ඉල්ලා ඇත්තේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් රුපියල් 350කින් ද ග්‍රෑම් 400යේ පැකට්ටුවක් රුපියල් 140කින් ද ඉහළ දමන ලෙස පාරිභෝගික අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙනවා.

කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් මේ වන විට රුපියල් 945ක මිලකට අලෙවි කෙරෙන අතර, ආනයනික කිරිපිටි සමාගම්වල ඉල්ලීම් පරිදි මිල වැඩි කළහොත් නව මිල 1295ක් දක්වා ඉහළ යනු ඇත.

ඇමරිකානු ඩොලර් 2800ක්ව පැවති ලෝක වෙළදපොළේ කිරිපිටි ටොන් එකක් මේ වන විට ඩොලර් 4300 දක්වා ඉහළ ගොස් ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා. එමෙන්ම ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ද තම ව්‍යාපාරවලට බලපෑම් එල්ල වී ඇති බවයි ආනයනික සමාගම් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, පාරිභෝගික අධිකාරිය සදහන් කළේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාව පත්ව ඇති දුෂ්කරතාවන් සැලකිල්ලට ගෙන මේ මොහොතේ එවැනි මිල ඉහළ දැමීමකට අවසර ලබා දිය නොහැකි බවයි.