කූට ලේඛණ සකසා වංචනික ක්‍රියාවල නියැලුණු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් සහකාර පොලිස් අධිකාරී ධූරය උදෙසා උසස් කිරීමට නියමිතව ඇත.

සහකාර පොලිස් අධිකාරී ධූරය සඳහා උසස්වීම් ලබා ගැනීමට නියමිතව ඇති සම්මුඛ පරීක්ෂණය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 430ක් කැඳවා තිබේ. එම පරීක්ෂණයේදී සහකාර පොලිස් අධිකාරි ධූරය උදෙසා උසස්වීම් ලබාගැනීමට නියමිත ඇති ලේඛනයට නියමිත සුදුසුකම් සැපයූ බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 230ක් තෝරාගෙන තිබේ . නමුත් සහකාර පොලිස් අධිකාරි ධූරය උදෙසා තෝරා ගන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 180 ක් බවට මුලින් කරුණු ප්‍රචාරය විය.

එහෙත් දැනට පුරප්පාඩුවී පවතින්නේ සහකාර පොලිස් අධිකාරී දුර 63 ක් බව කියැවෙයි. එවැනි පරිසරයක් තුළ මේ වනවිට සහකාර පොලිස් අධිකාරී ධූරය සඳහා නියමිත සුදුසුකම් සපුරා නැති ,එහෙත් දේශපාලන වශයෙන් ආණ්ඩු හිතවාදී ස්වභාවය මත සුදුසුකම් සපුරා ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 14 ක් නියමිත වෘත්තීය සුදුසුකම් ඇති බවට ව්‍යාජ තොරතුරු සපයා උසස්වීම් ලබාදීමට නියමිතය. රාජකාරි පැහැර හැරීම, විනය විරෝධීව හැසිරීම ,කූඨ ලේඛන සකස් කිරීම ,මානව හිමිකම් කඩ කිරීම,වංචනික ක්‍රියා වල නියැලීම ඇතුළු බොහෝ චෝදනා සම්බන්ධයෙන් බරපතල කරුණු ඉදිරිපත් වී සිටින අයටද ,මෙලෙස උසස්වීම් ලබාදීමට නියමිතව ඇත .

සහකාර පොලිස් අධිකාරි ධුරය උදෙසා උසස්වීම ලබා ගැනීමට ඇති සම්මුඛ පරීක්ෂණය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් තමන්ට නැති සුදුසුකම් මවාපාමින් කූට ලේඛණ සකසා ව්‍යාජ සුදුසුකම් සහතිකද ඉදිරිපත් කර ඇත . විශ්වවිද්‍යාල වලින් බාහිර උපාධිය ලබාගෙන ඇති බවට ද සමහර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු ව්‍යාජ සහතික මෙලෙස ඉදිරිපත් කර ඇත. පෑලියගොඩ ,යාපනය, කුරුඳුවත්ත, කොල්ලුපිටිය, වව්නියාව, අනුරාධපුරය, වැල්ලවත්ත ,කොම්පඤ්ඤවීදිය ,මහනුවර,ත්‍රිකුණාමලය ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් සෘජු වශයෙන්ම මෙම වංචනික ක්‍රියා වලට දායකත්වය සපයා ඇත. රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නීතියෙන් බැඳී සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් මෙලෙස හැසිරෙනවිට ඔවුහු උසස්වීම් ලබාගෙන මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න බරපතළ කරුණකි .

සාමාන්‍ය සිවිල් වැසියෙක් කිසියම් කූට ලේඛනයක් සකස් කර වැරදි වැඩක නියැලුණ හොත් ,ඔහු සම්බන්ධයෙන් පොලිසිය මොනතරම් ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කරන්නේද ? නමුත් මෙම වංචනික ක්‍රියා සිදුකර ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සම්බන්ධයෙන් අද වනතුරුත් නීතිය ක්‍රියාත්මක වී නැත . කූට ලේඛන සැකසීම නීතියට අනුව බරපතල වරදකි .එබැවින් ඔවුන් සම්බන්ධයෙන් ඉක්මන් නීතිමය කටයුතු සිදුකර වැඩ තහනම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නඩු පැවරිය යුතුය.

පොලීසිය භාර ඇමති සරත් වීරසේකර ,පොලිස්පති චන්දන වික්‍රමරත්න ,රාජ්‍ය සේවා කොමිසන් සභාව ,ජාතික පොලිස් කොමිසම ඇතුළු වගකිවයුතු අංශ මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි ? වංචනික ක්‍රියා වලට හවුල් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් ආරක්ෂා කරමින් ඔවුන්ට උසස්වීම් ලබාදීම සඳහා මහනුවර දළදා මාලිගාව ,පෑලියගොඩ විද්‍යාලෝක පිරිවෙන සහ අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධියට සම්බන්ධ ප්‍රබල භික්ෂූන් වහන්සේලා කිහිප නමක් යුහුසුළු වී ක්‍රියාකරන බවටද කරුණු දැනගන්නට ඇත . නමුත් මෙම නීති විරෝධී අත්තනෝමතික ක්‍රියාව වහාම නැවැත්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගත යුතුය. සහකාර පොලිස් අධිකාරී ධූරය සඳහා සුදුසුකම් සපුරා ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් විශාල පිරිසක් සිටියදී ,ඔවුන්ට නියමිත උසස්වීම් ලබානොදී ,සුදුසුකම් නැති වංචනිකයන්ට උසස්වීම් ලබාදීම සඳහා ආණ්ඩුව ගන්නා මෙම පියවර ඉතාමත් ලැජ්ජා සහගත දෙයකි .

එබැවින් වහාම වංචනික නොසුදුසු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු ඉවත්කර නිත්‍යානුකුලව නියමිත සුදුසුකම් සපුරා ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට පමණක් සහකාර පොලිස් අධිකාරිධූරය සඳහා උසස්වීම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය.

  • ශ්‍රී ලාල් ප්‍රියන්ත