කොරෝනා වසංගතයත් එක්ක රට ම පීඩාකාරි තත්ත්වයට පත්වෙලා තියෙන අවස්ථාවක ගොවි ජනතාව කබලෙන් ළිපට වැටී ඉන්න පරිසරයක් තුළ ගොවියාට වගකියන රාජ්‍ය ඇමති ඩී.බී. හේරත් මේ රටේ මහජනතාවගේ මුදල් අවභාවිත කරමින් සිටිනවා යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න චෝදනා කරයි.

ඉකුත් 26 දා කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“ඩී.බී. හේරත් අමාත්‍යවරයාගේ අමාත්‍යංශයට අදාළ පසුගිය අය-වැය ශීර්ෂයෙන් ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා නිල නිවාසයට ඇඳන් හෝ මෙට්ට මිලදී ගැනීමට කිසි ම මුදලක් වෙන් කරලා නැහැ.

නිදාගැනීමට ඇඳක් නොමැතිව කොවිඩ් රෝගීන් දහස් ගණන් බිම නිදාගෙන සිටියදී රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් විසින් රුපියල් ලක්‍ෂ විස්සකට වැඩි මුදලක් වැය කරමින් නිදාගැනීම සඳහා ඇඳන් හයක් මිලදී ගෙන තියෙනවා.

එවැනි තත්ත්වයක් තුළ ධම්මික රත්නායක කියන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් අමාත්‍යවරයාට මේ භාණ්ඩ අවශ්‍යයි කියා භාණ්ඩ 48ක් අමාත්‍යංශ ලේකම්ට ලිඛිතව දැනුම් දෙනවා. පෙබරවාරි මාසයේ දහ වන දා තමයි මේ ලියුම නිකුත් කරලා තියෙන්නේ.

මෙන්න ඒ භාණ්ඩ ලැයිස්තුව.

මේ ලැයිස්තුවේ තියෙනවා භාණ්ඩ වර්ග හතළිස් අටක්. මේ වෙනකොට මිලියන ගණනාවක් ඒ සඳහා වියදම් කරලා මේ බඩු අරගෙන ඉවරයි. මේක සම්පූර්ණයෙන් ම නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවලියක්. අමාත්‍යවරයාගේ කොළඹ හතේ තියෙන මේ නිල නිවාසයට ඔහු ඇතුළු වන්නේත් රුපියල් ලක්‍ෂ 50කට ආසන්න මුදලක් වියදම් කරලා අලුත්වැඩියාවක් කිරීමෙන් පසුවයි. මේ අරගෙන තියෙන භාණ්ඩවලින් ප්‍රමාණයක් මම කියන්නම්.

අඩි හයයි අඟල් තුනක් දිග, අඩි 5ක් පළල සුවිශේෂී ඇඳන් හයක් අරගෙන තියෙනවා නිදාගන්න. එතකොට ඒ එක ඇඳක් වෙනවා රුපියල් තුන් ලක්‍ෂ තිස්නවදාහක්. මේ ඇඳන් එක්ක ‍දොර දෙකේ අල්මාරියක්, කණ්ණාඩි මේසයක්, ස්ටූල් එකක්, කබඩ් එකක් ඇතුළු භාණ්ඩ සෙට් එකකුත් ලැබිලා තියෙනවා. ඒ අනුව තුන් ලක්‍ෂ තිස්නව දාහ ගානේ ඇඳන් හයකට විසිලක්‍ෂ තිස් හතර දාහක් රජයේ මුදල් වියදම් කරනවා.

ඊට පස්සේ එකක් රුපියල් හැත්තෑහත්දහස් පන්සීය ගාණේ හාර ලක්‍ෂ හැටපන්දාහක් දීලා මෙට්ට හයකුත් ගන්නවා. ඊට අමතරව විසිත්ත කාමර සෙට් ගන්නවා. අඟල් 40 ටී.වී. එකක්, අඟල් 32 ටී.වී. එකක්, ශීතකරණයක්, රෙදි සෝදන මැෂිමක්, ගෑස් කුකර් එකක්, බ්ලෙන්ඩර් එකක්, කෑලි 27 ඩිනර් සෙට් දෙකක්, අයන් ටේබල්, ලී ඇඳුම් රාක්ක, අධ්‍යයන මේස, අමුත්තන් සඳහා මේස, ඩිස්ප්ලේ කැබිනට්, අතුරුපස හැඳි කට්ටල, ගෑරුප්පු කට්ටල, වානේ හැඳි, බත්දීසි, අත් හෝදන බෝල්, වැකුම් ක්ලීනර්, ජල පෙරණ, අයන් දෙකයි, විදුලි පංකා, විදුලි කේතල, පිහි, වීදුරු, පීරිසි, කෝප්ප, සැලඩ් කප්, තේ කෝප්ප ආදී වශයෙන් සියලු භාණ්ඩ මිලදී ගෙන තිබෙනවා.

කොටින් ම කිව්වොත් ඩී.බී. හේරත්ගේ යට ඇඳුම ඇර අනෙකුත් සියලු ම දේවල් රජයේ මුදල්වලින් ගෙන තියෙනවා.

මේක සම්පූර්ණයෙන් ම මුදල් අවභාවිත කිරීමක්. මැයි මාසේ වෙනකොට මේ බඩු ටික අරගෙන ඉවරයි. නමුත් නීත්‍යනුකූලව ඒ ලිපි ලේඛන කටයුතු ඉවර කරලා නැහැ. මේ බඩු මිලදී ගන්න කොට ඒකට අදාළ වගකිවයුතු නිලධාරිනිය කොවිඩ් වැළඳිලා ඒ වෙනකොට වැඩට ආවේ නැහැ. දැන් මේ බඩු ටික නීත්‍යනුකූල කරගන්න ඒ නිලධාරීන්ගේ අස්සන ගහන්න විශාල පරිශ්‍රමයක් දරනවා. මේ වෙනකොට විශ්‍රාම ගිය පශු වෛද්‍යවරයෙකුගේ අස්සනක් ගහන්නත් සැලසුම් කරමින් ඉන්නවා. මේ බඩු ගන්න අනුමැතිය ලැබුණේ කොහොම ද? දැන් මේවා නීත්‍යනුකූල කරගන්න බලපෑම් කරන්නේ ඇයි? මේ බඩු ගන්න සල්ලි ලැබුණේ කොහොම ද? කියලයි අපි අහන්නේ.

ඒ නිසා අය-වැයෙන් මේ වගේ බඩු ගන්න සත පහක්වත් වෙන්කරලා නැති පරිසරයක් ඇතුළේ මේ ඇමතිවරයා සම්පූර්ණයෙන් ම කරලා තියෙන්නේ මහජන මුදල් අවභාවිත කිරීමක්. අපි බොරු කියනවා නම් ඩී.බී. හේරත්ට පුළුවන් අපිට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්න. හැබැයි අපි ඊට පෙර මේක නීතිය හමුවට අරගෙන යනවා. වියත් මගේ සීතා නෝනා ටෝච් එකකුයි, කුඩයකුයි ගත්තා. ඊට එහා ගිය වැඩක් මේක. දහස් ගණනක් කොරෝනා රෝගීන් ඇඳන් නැතිව බිම බුදියද්දී ඩී.බී. හේරත් අමාත්‍යවරයා නිදා ගැනීමට පමණක් මහජන මුදල් විසිලක්‍ෂ තිස් හතර දාහක් වියදම් කරලා තියෙනවා. පවුලෙ කට්ටියට ම ෂපාන් එකේ නිදාගන්න.

රට මෙච්චර වසංගතයකට ගිහිල්ලා තියෙද්දී, රජ සැප විඳින මේ ඇමතිවරයා ගැන රජය ගන්න ක්‍රියාමාර්ග මොකක් ද? කියලා අපි බලාගෙන ඉන්නවා.”