කොවිඩ් වසංගතයට මුුණ දෙන්න නිසි ක්‍රම වේදයක් හා ස්වයං විනයක් නොමැති නිසා රට නැවතත් අඟුළු දමා ඇති බව ප්‍රකට ව්‍යාපාරික, අරිලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනකත් තබමින් ඔහු මේ බව පැවැසීය.

“කෝවිඩ්’ වගේ ලෝකයම වෙලාගත්ත ව්‍යවසනයකට මුහුණදෙන්න අපිට නිසි ක්‍රමවේදයක් සහ ස්වයං විනයක් නොමැතිකම නිසාම අපිට ආයෙත් ලොක්ඩවුන් වෙන්න වෙලා. රට වෙනුවෙන් තමන්ගෙ යුතුකම ඉටු නොකර, හැමදේටම ඒ ඒ කාලවල පවතින ආණ්ඩුවටම බැණ වදින වගකීම් විරහිත මිනිස්සු සුළුතරයක් නිසා අපි හැමෝටම ආයෙත් පොඩුවේ විඳවන්න වෙලා.

එදා වේල හරි හම්බකරගෙන කාපු මිනිස්සු කබලෙන් ලිපට වැටෙද්දි, අපි වගේ මහාපරිමාණ නිෂ්පාදන කරපු දේශීය ව්‍යවසායකයන්ගෙ ව්‍යාපාර පවා ගොඩාක් අඩපණ වෙලා. පෞද්ගලිකවම ගත්තොත්, මගේ බොහෝ ව්‍යාපාර වල අමුද්‍රව්‍ය හිඟකම නිසාම වෙනදාට සාපේක්ෂව නිෂ්පාදනය පිරිවැය පවා දෙගුණ වෙලා. ඒත් ලෝකයම වෙළාගත්ත මේ වගේ වසංගතයක් ඉස්සරහ අපි කවුද කියන අවබෝධ කරනොගන්නා තාක් කල් මේ තත්වය අපිට පාලනය කරගන්න වෙන්නෙ නෑ.

ඒ නිසා අපි දැන්වත් අපෙන් ඉටුවෙන්න ඕන සමාජ වගකීම දරන්න සූදානම් වෙන්න ඕන කියන පණිවිඩය මම ඔබට දෙනවා. ඒ වෙනුවෙන් සමාජ යුතුකම් හා වගකීම් හඳුනන, හොඳ ඉදිරි පරපුරක් සමාජය වෙනුවෙන් දායක කරන්න මමත් වෙහෙසෙනවා.”