ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඊයේ (20) උදෑසන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරිණි. එම ඓතිහාසික අවස්ථාවට පළමු ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පැමිණෙනු දැකීම සිය කැමැත්ත බව ඉන්දීය අගමැතිතුමා පසුගියදා ZOOM තාක්ෂණය ඔස්සේ සිදුකළ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත වෙත දැනුම් දී ඇති අතර ඒ අනුව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය පෙරටු කොට ගෙන ඇමැති නාමල් රාජපක්ෂ ඇතුළු දූත පිරිසක් ප්‍රථම ජාත්‍යන්තර මගීන් පිරිස ලෙස කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොස් එම උත්සව අවස්ථාව සමග එකතු වූහ.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම නව ජාත්‍යන්තර ගුවන්තොටුපළ බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණය ඇතුලු ජීවිත ගමනේ ඉතා වැදගත් සිදුවීම් රැසකට හේතු වූ කුසිනාරානුවර පිහිටා ඇත. මෙම ගුවන්තොටුපළ බෞද්ධ වන්දනාකරුවන්ට විශේෂයෙන්ම වැදගත් වේ.

මෙම අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුලු පිරිසක් සහභාගී විය.