ඔලිම්පික් තරඟ නැරඹීම සඳහා තමන් ජපානයේ ටෝකියෝ නුවර බලා ගියේ කිසිදු අනුග්‍රාහකයෙකුගේ මුදලින් නොව තම පෞද්ගලික මුදලින් බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ පසුගියදා කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තමන් ඇතුළු පිරිස ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවීම සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශය නිවැරදි නොවන බවයි.

තමන් හට විදේශගතවීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් හා ජපානයේ රැදී සිටින කාලය තුළදී වැයවන වියදම් තමා පෞද්ගලිකව දරාගන්නා බවත් කිසිදු මොහොතක රජයේ මුදල් හෝ පුද්ගලික ආයතනයක අනුග්‍රාහක මුදල් වියදම් නොකළ බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

එබැවින් රජයේ මුදල් වියදම් කර හෝ වෙනත් ආයතනයක අනුග්‍රාහකත්වය යටතේ රට සවාරි යනවා යැයි සමාජය තුළ මතයක් ඇති කිරීමට කවුරුන් හෝ ගන්නා උත්සහය නිශ්ඵල බවත් එවැනි චෝදනා සම්පූර්ණයෙන්ම බැහැර කරන බවත් නිවේදනයේ සදහන්.