අද සිට ලබන 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම කාල සීමාව තුලදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සහ ඖෂධ ආදිය මිලදී ගැනීම සඳහා නිවසින් බැහැරව යාමට අවසර හිමිවන්නේ එක් පුද්ගලයෙකුට පමණයි.

මීට අමතරව සියලූම දිවා සුරැකුම් මධ්‍යස්ථාන සති 02 ක කාලයක් සඳහා වසා දැමීමට නියෝග කර තිබෙනවා.

එමෙන්ම සියලූ පෙර පාසැල්, පාසැල්, උසස් අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාල, උපකාරක පංති නැවත දැනුම් දෙන තුරු වසා දැමෙනු ඇති.

සියලූම ප්‍රිය සම්භාෂණ සහ විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් වන අතර ආගමික ස්ථාන තුළ සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් සඳහා අවසර හිමිවන්නේ නැහැ.

එමෙන්ම අද දිනයේ සිට සියලූම සම්භාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ත ක්‍රීඩාගාර, ළමා උද්‍යාන, සංගීත සංදර්ශන, මුහුදු වෙරළ ආශ්‍රිතව පවත්වනු ලබන සාද, විනෝද සැණකෙළි, පිහිනුම් තටාක වසා දැමිය යුතු වනවා.

ආපනශාලා තුල එකවර ආහාර ගැනීමට අවසර හිමිවන්නේ 50% ක ධාරිතාවයෙන් යුතු පිරිසකට වන අතර හෝටල්, තානායම් සහ කාමර කුලියට ලබාදීමේ ස්ථාන 25% ක ධාරිතාවයකින් යුක්තව පමණක් පවත්වාගෙන යාමට අවසර හිමිවනවා.

පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී ආසන සංඛ්‍යාව අනුව පමණක් මගීන් රැගෙන යාම සිදුකර යුතු වන අතර අන්තර් පළාත් අතර ගමන් කිරීමට අවසර හිමිවන්නේ අත්‍යාවශ්‍ය සේවාවන්ට සම්බන්ධ පුද්ගලයින්ට පමණයි. පෞද්ගලික කුලී මගී රථ සේවා භාවිත කිරීමේදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතුයි.