පසුගියදා 06 දා කැබිනට් මණ්ඩලය සූම් තාක්ෂණය ඔස්සේ කැඳවූ අවස්ථාවේ ඊට පෙර ලබා නොදුන් කැබිනට් පත්‍රිකාවක්, එම අවස්ථාවේදී පවා පත්‍රිකාවක් ලෙස ලබා නොදී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ වාචිකව ඉදිරිපත් කළ කරුණු අනුව කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක් සහ ගෑස් ගෙන එන නළ පද්ධතියත් ගෑස් ගාබඩා කරන ටර්මිනල් බලාගාරයත් ඇමරිකානු සමාගමකට විකුණන්න තීරණය කරලා. විකිණීමේ කොන්දේසි, මිල ගණන්, අත්සන් කරන ගිවිසුම ආදී සියලු දේ පිළිබඳ අධිකාරී බලයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලබාදී තිබෙනවා. ආර්ථික ගැටලු, කොවිඞ් ව්‍යසනය, සම්බන්ධයෙන් උත්තර ජනතාව අපේක්ෂා කරද්දී ඇමරිකානු සමාගමකට කෙරවලපිටිය බලාගාරය පවරා දීමේ අවසන් තීන්දුව ගෙන තිබෙනවා. ඇමතිවරුන්ට කිසිදු අදහසක් ඉදිරිපත් කරන්න ඉඩ නොදී එම පත්‍රිකාව සම්මත කළ බව කාර්ය සටහන්වල සඳහන් කර තිබෙනවා.
චීන සමාගමට අක්කරයක් බදු දී තිබෙන්නේ මාසයකට රු. ලක්ෂ 8.5කට
මීට පෙර 2021.07.31 දින වරාය ඇමතිවරයා කොළඹ වරාය ආසන්නයේ ඉතාමත් වටිනා අක්කර 13ක් චීනයේ සී.අයි.සී.ටී. සමාගමට පවරා දෙන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සම්මත කරගත්තා. අපේ වරාය අධිකාරියට විශාල පර්යන්ත ප්‍රමාණයක් අද අයිති නැහැ. නමුත් විශාල ආදායමක් උපයන්නේ නාවික සේවා සැපයුම් ලබාදීම මගිනුයි. එමගින් 2018දී බිලියන 5.6ක ආදායමක් උපයා තිබෙනවා. පසුගිය වසර දෙකේ යම් ප්‍රමාණයක ආදායම් අඩුවෙන්න ඇති. නමුත් දැන් ඒ සේවා සැපයීමේ අයිතිය අවුරුදු 35කට චීන සමාගමට ලබාදී තිබෙනවා. ඒවෙනුවෙන් අක්කරයක් බදු දී තිබෙන්නේ මාසයකට රු. ලක්ෂ 8.5ක් වැනි මුදලකට. අක්කර එක හමාරක් සිමෙන්ති සමාගමකට ලබාදී තිබෙන්නේ මාසික කුලිය ලක්ෂ 22කට. නමුත් චීනයට ලබාදී තිබෙන්නේ ලක්ෂ අට හමාරක කුලියකට. තවත් ඉඩමක් අක්කර 1.25ක් පමණ දී තිබෙන්නේ ලක්ෂ 135ක් වූ මාසික කුලියකට. ජාතික දේපළ නිසි තක්සේරුවකට යටත් නොකර විශාල ධනයක් මේ අය උපයා ගන්නවා. ඒ ධනය සුදු කර ගැනීම සඳහා කළු සල්ලි සුදු කර ගැනීමේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තා. මීට පෙර පර්ක් ආයතනය වශයෙන් ජාතික සම්පත් විකිණීමේ මෙහෙයුම් සිදුකළ ආයතනය අහෝසි වූවාට පසුව සෙලෙන්දිවා ආයතනය පිහිටුවා එම කාර්යය කරගෙන යන්න පටන් ගෙන තිබෙනවා.
දේපළ විකුණා ජීවත්වන නාස්තිකාර පියාගේ භූමිකාවට මේ පාලකයන් පැමිණිලා
ඩොලර් මිලියන 400ක් උපයා ගන්න විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල, ගෆුර් ගොඩනැගිල්ල, හිල්ටන් හෝටලය සහ අනුබද්ධ ක්‍රීඩා සංකීර්ණය විකුණා දැමීම සඳහා රාජපක්ෂ ආණ්ඩුව අප්‍රේල් 31වැනිදා පත්‍රිකාවක් සම්මත කරගත්තා. කොම්පඤ්ඤ වීදියේ ගුවන් හමුදාවට අයත් ඉඩමක්, අක්කර 42ක් වූ වැලිකඩ බන්ධනාගාර ඉඩම විකුණා දැමීමට සැලසුම්කර තිබෙනවා. දේපළ විකුණා ජීවත්වන නාස්තිකාර පියෙකුගේ භූමිකාව අද මේ පාලකයන් ප්‍රවේශ වී තිබෙනවා.
කොවිඞ් වසංගත තත්වය හමුවේ කවුරුත් තිගැස්මට පත්වෙලා ඉන්න වෙලාවක යටිකූට්ටු ලෙස කොමිස්වලට රටේ දේපළ විකුණමින් තිබෙනවා. රාජපක්ෂ පවුලට අයිති දේපළ විකුණනවා නම් අපි කවුරුත් බාධා කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හෝ ඔහුගේ පාලනයට රටේ සම්පත් පවරා දී නැති බව ඔවුන් තේරුම් ගත යුතුයි. මේ පාලකයන්ගෙන් වැඩි පිරිසකගේ දේපළ තියෙන්නේ, දරු මුණුබුරන් ඉන්නේ එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්වල. එවැනි පාලකයෝ මේ රටේ පුරවැසියන්ට අයිති සම්පත් විදේශ සමාගම්වලට පවරා දෙමින් තිබෙනවා. මේ අයට අපේ රට හෝ රටේ පුරවැසියන් පිළිබඳව ආදරයක් තිබෙනවා නම් වෙන රටක පදිංචි වෙන්නේ නැහැ. මේ අය ඇවිත් ඉන්නේ බිස්නස් එකකට බව පසුගිය ජනාධිපතිවරණයේදී අපි ජනතාවට අවධාරණය කළා. මොවුන් විවිධ විදේශ සමාගම්වලට අපේ රටේ දේපළ පවරා දෙන්න බලයට පත්වුණු කොන්ත්‍රාත්කරුවන්. රටේ පාලකයන් නෙවෙයි.
කැබිනට් මණ්ඩලයටත් හංගනන්නේ ඇතුළේ හොරකම නිසයි
පසුගිය 06වැනිදා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධ අඩංගුව සූම් තාක්ෂණය මගින් වාචිකව ඉදිරිපත් කර කෙරවලපිටිය බලාගාරයේ අයිතිය ඇමරිකානු සමාගමකට ලබාදීමට ගත් තීන්දුව වහාම හකුළා ගත යුතුයි. මෙවැනි කැබිනට් පත්‍රිකාවක්වත් නැතිව ලංකාවේ පළවැනි වතාවට තීන්දු අරන් තිබෙනවා. රටට, ජනතාවට විතරක් නෙවෙයි කැබිනට් මණ්ඩලයටත් හංගනවා. රටට ඉදිරිපත් කරන්න බැරිනම්, ජනතාවට ඉදිරිපත් කරන්න බැරිනම්, විවෘතව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ඉදිරිපත් කරන්න බැරිනම් ඒ හැම දේකින්ම කියවෙන්නේ මේ ක්‍රියාවලිය ඇතුළේ තිබෙන හොරකමයි. කෙරවලපිටිය බලාගාරය, වරාය ඉඩම්, අපේ රටේ පෞරාණික දේපළ විකිණීම සඳහා රාජපක්ෂ කොන්ත්‍රාත්කරුවන් දරන ප්රයත්නය පරාජය කළ යුතුයි. සියලු දෙනාට එය වෙනුවෙන් පෙළගැසෙන ලෙස අපි ආරාධනා කරනවා.
රාජ්‍ය නිලධාරීන් ගණනාවක් මෑත කාලයේ ඉවත් වුණා. වෘක්ෂලතා හා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ ඉවත් වුණා. යම් පුද්ගලයින් අලි ලබාගැනීමට දරන ප්රයත්නය දරා ගැනීමට නොහැකි නිසා ඉවත් වන බවට ඇය සටහනක් තබා තිබෙනවා. අගෝස්තු 19වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයක් අනුව අලි හිමියන් අලුතින් ලියාපදිංචි කරන්න කටයුතු කර තිබෙනවා. ඒ අතර අධිකරණයේ විභාග වෙමින් තිබුණු නඩුවක අලින් නැවත චූදිතයන්ට භාර දෙන්න තීරණය කරනවා. ඒ අතර මිරිහානේ පදිංචි එන්.ජී. රාජපක්ෂ ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ අලියත් ඉන්නවා.
සන්නසකින් ඔහුට ලබාදී තිබුණු මේ අලියා නඩත්තු කරගන්න බැහැ කියලා 2015දී සත්වෝද්‍යානයට බාර දුන්නා. දැන් මේ කරන්නේ තමන්ගෙ අලියා ලබාගැනීමට නීති හැදීමයි. ඔය පවුලම එහෙමයි. එක රටක්-එක නීතියක් හදන්න ආවේ.
මහ බැංකුවේ අධිපතිවරයා කියූ කරුණුවලට වඩා නොකියූ කරුණු වැඩියි
කොවිඞ් මර්දන කමිටුවල හිටි හසල අත්දැකීමක් තිබුණු විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් ගිය සතියේ ඉවත් වුණා. මහ බැංකුවේ අධිපතිවරයා ඉවත් වීමේදී කරුණු ගණනාවක් කියනවා. ඔහු කියූ කරුණුවලට වඩා නොකියූ කරුණු වැඩි බව අපි හිතනවා. අද තනතුරු දැරිය හැකි වෙන්නේ, ආණ්ඩුවේ පාලකයන් ගන්නා වැරදි තීන්දුවලට පවන් සලන පුද්ගයන්ට විතරයි. මහබැංකුව ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක්. නමුත් තමුන්ගේ තක්කඩි වුවමනාවන් ඉටුකරගන්න බැරි වෙනකොට එහි ප්‍රධානීන්ට රැඳී ඉන්න නොහැකි තත්වයක් ඇති කරන බවයි මෙයින් පෙනෙන්නේ.
2008-2012 කාලයේදී කබ්රාල් මහ බැංකු අධිපතිවරයා යටතේ බිලියන 15කට වඩා බැඳුම්කර වංචාවන් සිදුවී ඇති බව වෝහාරික විගණන වාර්තාවේ දැක්වෙනවා. හෙජින් ගිවිසුම, ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම, අද අපේ රටේ ආර්ථීකය හිරවීමට ලක්කළ විශාලම උත්තේජනය ඇතිකළේ මේ කණ්ඩායමයි. මෙතෙක් නාමිකව හෝ මහබැංකුව ස්වාධීන ආයතනයක් හැටියට පැවතුණා. නමුත් පළවැනි වතාවට දේශපාලකයෙක් මහ බැංකුවේ මුල් පුටුවට පත්වෙනවා. ලෝකය අපේ රට ගැන කොහොම හිතයිද? විදේශ වාණිජ වෙළඳපොළවලින් 2007 සිට ලබාගත් ණයවල අද අපේ රට හිරවී තිබෙනවා.
රට විශාල ණය කන්දක ගොඩගැහෙනකොට පාලකයන්ගේ ගිණුම් ඒ වගේම තර වුණා. රටේ කොන්ක්‍රිට් වනාන්තර ගොඩනැගෙනකොට රටේ පාලකයන්ගේ දේපළත් ගොඩනැගුණා. අද අපේ රට රු. ට්‍රිලියන 16.3ක ණය කන්දක ඉන්නේ. නමුත් ඊට අදාළ වත්කම් රට තුළ නිර්මාණය වුණේ නැහැ. රටේ පාලකයන් සහ ඔවුන් වටේ ඉන්න නිලධාරී කණ්ඩයමක් අත වත්කම් සහ දේපළ තිබෙනවා. මේවා කළු දේපළ. බැසිල් රාජපක්ෂ මුදල් ඇමති වෙලා සම්මත කළ පළමු පනත කළු දේපළ සුදු කරන්නයි