සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය නොවන සේවාවන් අතර ඇතිවී තිබෙන බරපතල නොසන්සුන්තාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යතුමියගේ විශේෂ සැලකිල්ල යොමු වී ඇති අතර ඒ පිළිබඳව 2021.06.15 දින සෞඛ්‍ය සේවාවේ සියළු වෘත්තීය සමිති සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි.

එහිදී වෛද්‍ය සේවාවට පමණක් 78%ක පමණ දීමනා වැඩි කිරීමේදී අනෙකුත් සෞඛ්‍ය සේවාවන් අතර බරපතල නොසන්සුන්තාවයක් ඇති විය හැකි බව හෝ වෛද්‍ය පරිපාලන නිළධාරීන්ගෙන් උපදේශයක් හෝ අනතුරු ඇඟවීමක් නොලැබුනේද යන්න වෘත්තීය සමිති විසින් ප්‍රශ්ණ කරන ලදී. එමෙන්ම අමාත්‍යවරිය, ලේකම්වරයා හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතැම් ගැටළු විසඳා දීමට සාධාරණ උත්සහයක් ගනු ලැබූවද පහල සිටින නිළධාරීන් කිහිපදෙනෙකු හිතාමතාම වෛද්‍ය නොවන වෘත්තීන් පිළිබඳව ද්වේශ සහගතව කටයුතු කරමින් අනවශ්‍ය අර්බුධ නිර්මාණය කරන බවත් ඇතැම් අවස්ථාවල ගැටළු සඳහා විසඳුම් සොයන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල කළමණාකරණ නිළධාරීන්ට පවා බැන තර්ජනය කරමින් ඒවා වලකන බවත් වෘත්තීය සමිති සියල්ල කරුණු සහිතව පෙන්වා දෙන ලදී.


මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු දැඩි දෝෂ දර්ශණයට ලක්ව ඇති අතර මෘතදේහ බහාලුම් ගණුදෙනුවක් සම්බන්ධයෙන් ඔහු පිළිබඳව සැළකිලිමත් වන ලෙස ජනාධිපතිවරයාද සෞඛ්‍ය ලේකම්වරයාව දැනුවත් කර ඇති නමුත් තවදුරටත් ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළු තීරණ වලට හවුල් වෙමින් අවුල් සහගත තත්ත්වයක් ඇති කරන බැවින් තම ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමේදී අදාල අතිරේක ලේකම්වරයාගෙන් උපදෙස් ලබා ගැනීම හෝ ඔහුගේ මැදිහත් වීම වලක්වන ලෙස වෘත්තීය සමිති විසින් බරපතල විරෝධතාවයක් දක්වා ඇත.

එසේම වෛද්‍යවරුන්ට පමණක් දීමනා වැඩි කිරීමෙන් ඇතිවන අර්බුධකාරී තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරියව නිවැරදිව දැනුවත් නොකරමින් හිතාමතාම අර්බුධයක් ඇති වීමට ඉඩ සැලැස්වූ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු පිළිබඳවද සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ලිඛිතව සිය විරෝධතාවය ඉදිරිපත් කර ඇති අතර හදිසි සේවා රෙගුලාසි පිළිබඳව කාර්යය මණ්ඩලයේ විරෝධතාවයක් ඇති වන පරිදි එම රෙගුලාසි අවභාවිතා කරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි උද්ඝෝෂණ ව්‍යාපාරයට ඔහු විසින් සිදු කරන ලද මැදිහත්වීමද මෙහිදී දැඩි දෝෂ දර්ශණයට ලක්වී ඇත.