ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිර්දේශ කරන ලද අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 623 ක් සඳහා වූ තැන්පත් මුදල හේතුවෙන් රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම මහජනතාව ද බරපතල අර්බුදයකට මුහුණ පෑමට නියමිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එදිනෙදා ඇඳුම් පැළඳුම් යට ඇඳුම් ඇතුළුව ආනයනික පරිගණක, දුරකතන, ශීතකරණ, වායු සමීකරන යන්ත්‍ර ආදී එදිනෙදා භාවිතයට ගන්නා භාණ්ඩ රැසක් මීට ඇතුලත් වී තිබේ.

අදාළ තැන්පතුව හේතුවෙන් එම වටිනාකමට පොළියක් භාණ්ඩවලට ඇතුලත් කෙරෙන අතර, ඉන් භාණ්ඩ මිල ඉතාම ඉහළ අගයක් ගනු ඇතැයි ද හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම කුඩා පරිමාණයේ හා වෙනත් ආකාරයක ව්‍යාපාර කරගෙන සිටි අති විශාල ප්‍රමාණයක්

වෙළඳපොළෙන් ඉවතට විසි කර මහා පරිමාණ ව්‍යාපාරිකයන් හතර පස් දෙනෙකුට පමණක් මේ ව්‍යාපාර සීමා වීමට ඉඩ තිබෙනවා පමණක් නොව භාණ්ඩ අධික මිල ගණන්වලට පත්වේ.

“අපි දන්නවා ලංකාවේ මේක වෙන්නේ කොහොමද කියලා.

මොකක්ද? කළු කඩේ විවෘත වෙනවා.

මේ භාණ්ඩ කළු කඩ වැඩි මුදලට ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා.

රුපියලේ අගය පහළ වැටෙන වේගය දිහා බැලුවහම සහ ඩොලරය ඉහල යන වේගය දිහා බැලුවහම ඇතැම් අය විවිධාකාරයෙන් තමන්ගේ මුදල් තැන්පත් කිරීමේ කටයුතු වල නියැලිලා ඉන්නවා.

සමහරු ඉඩම් ගන්නවා. දේපල ගන්නවා. උපකරණ අරගෙන තියාගන්නවා. මත්පැන් ගොඩගහගන්නවා.

මොකද රුපියල කඩා වැටෙන වේගය අනුව මේවා භාණ්ඩ වල තියා ගැනීම වැදගත් කියලා ඒගොල්ලන්ට හිතෙන නිසා කල් පවතින භාණ්ඩ වල තියාගන්නවා.

ඉතින් මෙන්න මෙවැනි කාරණා ගණනාවකට අපේ සමාජයට මේක බලපානවා.

දැනටමත් ඩොලරය කලු කඩේට ගිහින් තියෙනවා. භාණ්ඩ අතිවිශාල ප්‍රමාණයක් කළු කඩේට ගිහින් තියෙනවා.

කළු කඩේට, මේ භාණ්ඩ යන එක තමයි, පලවෙනි ක්‍රියාදාමය හැටියට සිද්ධ වෙන්නේ.”

ආණ්ඩුව පෙන්වන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සපයන්නත් තමන්ට බෑ කියලා!

මින් ආණ්ඩුව පෙන්වා දී ඇත්තේ තමන්ට මේ රටේ ජනතාවගේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ පවා තමන්ට සැපයීමට නොහැකි තමන් අසමත් ආණ්ඩුවක් බවයි.

අද දුරකතන, ඇඳුම් පැළඳුම් ආදිය ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ වී හමාර ය.

“ඕවා රාජපක්ෂ පවුලේ ඇත්තන්ට නම් ඕවයේ අඩුපාඩුවක් හිටින්න විදිහක් නෑ. ඒ ඇත්තෝ මේවා කරයි.

දැන් මේ ආණ්ඩුව කියන්නේ මෙහෙමනේ. පිටරටින් ගේන මිදි කන්න එපා ගඩුගුඩා කන්න.

පිටරටින් ගේන ඇපල් කන්න එපා ගිහිල්ලා ඔය ඇඹුල්පෙර කන්න. ඒක තමයි දේශීයත්වය කියලා. ඒක තමයි ආණ්ඩුව දැන් කියන්නේ.”

අන්තර් ආගමික සමුළුවක් ඇමතීමට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ දී ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධයට ලක්ව තිබේ.

“අද, මේ ඇත්තන්ට මෙහෙ නම් හදිසි නීතිය දාගෙන, නිරෝධායන නීතිය දාගෙන, විරෝධතා මගහරින්න පුළුවන්.

නමුත්, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙ විරෝධතාවයට ලක් වෙන්න වෙලා තියෙනවා. ඒක තමයි යථාර්ථය.

ඒ නිසා මේක මේ රටේ විතරක් නෙමෙයි ලාංකිකයෝ හැම දෙනෙක්ගේම හදවත් තුළ පැසවන, තමන් රැවටීමට ලක් වුණ අය,

තමන් වංචාවකට ලක් වුණ අය, පාස්කු ප්‍රහාරය සඳහා පමණක් නෙවෙයි, ආර්ථිකය කරනවා කියලා වසංගතය මර්ධනය කරනවා කියලා,

තමන් මහා වංචාවකට ලක්වුණා කියලා තියෙන ඒ වේදනාව තමයි, පිටවී යමින් තියෙන්නේ.

ඒක මහින්ද රාජපක්ෂ මහත්තයට හොඳට තේරෙනවා ඇති.

එතුමා වීදි සටන් වලින් ආපු ජනාධිපති කෙනෙක්.”

එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා සිංහ කොඩිය පෙරටු කරගෙන ආ ඩයස් මී වැනි පුද්ගලයන්

අද පාරට බැස ආණ්ඩුවට ගෙදර යන්නැයි කියන බව ද රණවක මහතා පෙන්වා දෙයි.

“මේක අනාගතයේ හොඳ පෙරදැක්මක්. රාජපක්ෂවරුන් අනාගතයේදී මේ රටේ ශ්‍රී ලාංකිකයන්ගෙන් තවදුරටත් සමාවක් නෑ.

තවදුරටත් ජනතාව රැවටීමට ලක් කරන්න බෑ කියන එක ගැන හොඳ ප්‍රතිචාරයක් අපිට ඉතාලියේ අපේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණා.”

එළඹෙන 13 දින යුරෝපයේ බ්‍රසල්ස් නගරයේ  මානව හිමිකම් කොමිසම ඉදිරියේ අපේ චෝදනා ලැයිස්තුව එලියට ගන්න නියමිතය.

ඒවාට මුහුණ දීම සඳහා කල් තියා සැලසුම් කොට යම්කිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතුය.

ලංකාවේ කතෝලික ප්‍රජාව එක පාරක් රැවටූ ආකාරයෙන් ලෝක කතෝලික ප්‍රජාව එක පාරක්වත් රවට්ටන්න බැරි බව අගමැතිවරයා තේරුම් ගත යුතුය.

“තව ටික කාලෙකින් මේ රටේ ගොවි ජනතාව මේ රටේ ධීවර ජනතාව, වැඩ කරන ජනතාව, ගුරු විදුහල්පතිවරු ඒ වගේම

විදුලිබල මණ්ඩලයේ ඉන්න අය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මූල්‍ය සමාගම් වලට විකුණා දැමීම ගැන ඒ ඒ රාජ්‍ය සේවකයෝ,

රටේ රාජ්‍ය දේපල විකිණීම ගැන, රජයේ බැංකු සේවකයෝ,

මේ සියලු දෙනාම ඉදිරියේදී කළු කොඩි උස්සන දිනය වැඩි ඈතක නැති බව ඔබතුමා ඇතුළු පවුලේ සියළු දෙනාම මතක තබාගන්න.”

ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ මේ රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ පැති කීපයකින් අතිශය වැදගත් ස්ථානයකි. රටේ මූල්‍ය වෙළෙඳ පොළේ නියාමකයා, ශ්‍රී ලංකා මහ බැංකුව ය. රටේ දැවැන්ත කළමනාකරණය කරන ඒ ණය ගෙවන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හසුරුවන තැන ශ්‍රී ලංකා මහ බැංකුව ය. රටේ දැවැන්තම මූල්‍ය අරමුදලවල් දෙක සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල පාලනය වන්නේ මහ බැංකුවෙනි. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරය දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නොවන ස්වාධීන ලෝකයම පිළිගත් වෘත්තීයවේදියෙක් විසින් ඉසිලීම අතිශය වැදගත් ය. ශ්‍රී ලංකාව අර්බුදයකට පත් වූ අවස්ථාවේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියන කීර්තිමත් ආර්ථික විද්‍යාඥයා විසින් අර්ජුන මහේන්ද්‍රන් විසින් බිඳ දමා තිබුණු මහ බැංකුවේ ප්‍රතිරූපය දේශීය විදේශීය වශයෙන් ගොඩනගන්න කටයුතු කළේය.

“දැන් මෙතෙන්ට පත්වෙන්න යන අජිත් නිවාඩ් කබ්රාල් කියන්නේ පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්. ඒ වගේම එහි දේශපාලන නායකයෙක්. ඒ ආණ්ඩුවේ ඇමති ධූරයක් දරපු කෙනෙක්. ඔහු වැනි කෙනෙක් ආවට පස්සේ මේ මහ බැංකුවේ ස්වාධීනත්වය ගැන එහි නියාමනය ගැන කිසිම විශ්වාසයක් ලෝක ප්රජාවට හෝ ජාතික වශයෙන් වෙළඳපොළට ඇතිවෙන්නේ නෑ.”

“මොහු පාලනය කරද්දි තමයි මුලින්ම භාණ්ඩාගාර බැඳුම්කර වංචා ආරම්භ වුණේ කියන එක වෝහාරික විගණනයෙන් පෙන්නලා දීලා තියෙනවා. ග්‍රීක බැඳුම්කර සිද්ධිය, ඒ වගේම හෙජින් ගනුදෙනුව සහ අර සුමේරි කියන ඇමරිකා එක්සත් ජනපදයේ ඔත්තු සේවාවක කටයුතු කරපු පුද්ගලයෙකුට ඩොලර් මිලියන හයයි දශම අටක් ලබාදීම වැනි දැවැන්ත වංචා පිළිබඳ චෝදනා ලැබුවේ දූෂිත චෝදනා ලැබ එවැනි පුද්ගලයෙක් මෙතෙන්ට ගියාට පස්සේ..”

ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගැලවීම සඳහා, ශ්‍රේණිගත කිරීම් වලින් ආදියෙන් ඉහළට යාමට නම් ලංකාවේ මූල්‍ය ප්‍රතිරූපය ගොඩනගා ගත යුතුය.

“ඒ ප්‍රතිරූපය තවත් වළපල්ලට දැමීමක් තමයි මහාචාර්ය ලක්ෂ්මන් වෙනුවට ඒ ස්ථානයට අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයා පත්වීමෙන් සිද්ධ වුණේ.”

ආණ්ඩුව පෙන්වන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සපයන්නත් තමන්ට බෑ කියලා!