“නිව් පෝට්‍රට් එනර්ජි” නම් ඇමෙරිකානු සමාගමකට රටේ කෙරවළපිටිය බලාගාරයේ 40%ක් පැවරීමට ගෝඨාභය හා බැසිල් යන සහෝදරයන් දෙදෙනා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අනාවරණය කළේය.

ඒ අනුව එම සමාගමටම වසර 5ක් යන තෙක් ගෑස් මිලදී ගැනීමද ටෙන්ඩරයකින් තොරවම ලබාදී තිබෙනවා සේම කෙරවළපිටිය ප්‍රදේශයේ ඉදිකරන වෙනත් ඕනෑම බලාගාරයකට ගෑස් ලබාදීමේ බලයත් මෙම සමාගමට ලබාදී තිබෙන බව මන්ත්‍රීවරයා පැවසීය. කෙරවළපිටිය බලාගාරයට අදාළ කැබිනට් පත්‍රිකාව 2021.09.06 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිර්පත් කළ බව පැවසූ ඒ මහතා සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක්, කැබිනට් රැස්වීමට දින තුනකට පෙර ඇමැතිවරයා අතට පත් වුණත් මෙම කැබිනට් පත්‍රිකාව එලෙස ඉදිරිපත් නොකළ බවත් අතිරේක පත්‍රිකාවක් ලෙස රැස්වීම අවස්ථාවේම එය ඉදිරිපත් වූ බවත් කීය. ඊට ඒ මොහොතේම අනුමැතිය ලබාගත්තේ ඇතැම් ඇමැතිවරුන්ගේ විරෝධතා මධ්‍යයේ බවත් ගිවිසුම් සාමාන්‍යයෙන් සිදුවන්නේ ගිවිසුම සකස් කර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් පසුව අස්සන් තැබීම වුවත් මෙහිදී සිදුව ඇත්තේ එහි අනෙක් පැත්ත බවද දිසානායක මහතා කීය. ඒ අනුව පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12.06ට මෙම ගිවිසුම අස්සන් තබා තිබෙන අතර ඒ සඳහා සමාගමෙන් සහභාගි වූ විදේශිකයා පාන්දර 2ට පමණ ගුවන් යානයෙන් ඇමෙරිකාවට ආපසු ගොස් ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇමෙරිකාවට ගියේ ඉන් පසුව බවත් ඔහු අනාවරණය කළේය.

කෙරවළපිටිය බලාගාරය රාජ්‍ය සමාගම් වෙත අයිතිය තිබෙන බලාගාරයක් බවත් එය ඩීසල්වලින් විදුලිය උත්පාදනය කළත් එයට ඩීසල්වල සිට ගෑස් දක්වා හැරවිය හැකි තාක්ෂණයක් තිබෙන නමුත් තවමත් ගෑස් ගබඩාවක්, නළ පද්ධතියක්, ද්‍රව ගෑස් වායු බවට හරවන යාන්ත්‍රණයක් නොමැති හෙයින් ඩීසල්වලින් විදුලිය නිපදවන බවත් එම නිසා ගෑස්වලින් විදුලිය නිපදවීමට අවශ්‍ය වන යටිතල පහසුකම් සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවීමක් ඛනිජ තෙල් සංස්ථාව භාර අමාත්‍යාංශය විසින් පසුගිය පෙබරවාරි 18 වැනිදා මේ පිළිබඳව ජනමාධ්‍යවල දැන්වීම් පළ කළ බවත් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

ඔහු පැවසුවේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා මෙම ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් නොකළ නිව් පෝට්‍රට් එනර්ජි නම් ඇමෙරිකානු සමාගමට කෙරවළපිටිය බලාගාරයෙන් 40%ක්, ගෑස් ගබඩා පද්ධතිය සහ නළ පද්ධතිය ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගෙන ඇති බවය.මෙය කිසිසේත්ම පිරිසුදු ගනුදෙනුවක් නොවන බව පැවසූ දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම ඇමෙරිකානු සමාගමට අවශ්‍ය නම් ටෙන්ඩරයට ඉදිරිපත් විය හැකිව තිබූ නමුත් එයට ඉල්ලුම් නොකළ සමාගමකට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් ලබාදී තිබෙන බවය.