මෙරට ඉතිහාසයේ පළමු වතාවට වත්මන් ආණ්ඩුව යටතේ රට බංකොළොත් වී තිබෙන බවත්, එලෙස රට අරාජික වී ඇති බවට තවදුරටත් පිළි නොගන්නා පුද්ගලයන් සිටින ප්‍රදේශවල මානසික රෝහල බැගින් ඉදිකර ඔවුන්ට ප්‍රතිකාර කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පැවසීය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ර‌ට තුල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් තිබෙන්නේ ලෝක වෙළෙඳ පොළේ බඩු මිල ඉහළ යෑම නිසා නොවන වත්මන් ආණ්ඩුවට ඩොලර් නොමැති වීම නිසා බවද සඳහන් කළ රාජිත සේනාරත්න මහතා,

“මේ රටේ ඇත්ත කියන අයට වඩා බොරු කියන අයට තමයි තැන තියෙන්නේ. ඒ නිසා තමයි මේ රට මෙතරම් කාලකණ්ණි තත්ත්වයකට පත් කරලා තිබෙන්නේ. ඒ වගේම කිරිපිටි තියෙනවා වරායේ. කිරිපිටි ගෙනාපු මිනිස්සුන්ට එළියට ගන්න සල්ලි නෑ. ආණ්ඩුවට සල්ලි නෑ. බැංකුවලට සල්ලි නෑ ඒවට ගෙවන්න.

මට ආරංචියි බිලියන ගාණක කන්ටේනර් හිරවෙලා තිබෙනවා කියලා වරායේ. කවදාවත් මේ වගේ තත්ත්වයක් ලංකාවේ ඇතිවෙලා නෑ. මැතිණියගේ කාලේ ආචාර්ය එන්.එම් පෙරේරා හිටපු කාලේ මිනිස්සුන්ට දුෂ්කරතා තිබුණා. ඒ වගේම යම්කිසි ප්‍රතිපත්තියක් තිබුණා. නමුත් මේ වගේ මූල්‍ය අර්බුදයක් එදා තිබුණේ නෑ. මේ තමයි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් බංකොළොත් වෙලා තිබෙන්නේ.

මේ ආණ්ඩුවට ඩොලර් නෑ. ඩොලර් දෙන්න මිනිස්සුත් නෑ. ඒ වගේම මම දැක්කා ඉන්දියාවෙන් සල්ලි ඉල්ලනවා ඉන්ධන ගේන්න. ඒ සල්ලි හරියට ලැබුන්නැති වුණොත් ඉන්ධනත් නෑ. මේ කිරිපිටි ඇතුළු ගණන් වැඩි වෙන්නේ ලෝක වෙළෙඳ පොළේ ගණන් නිසා නෙවෙයි. මේ ආණ්ඩුවට සල්ලි නැති නිසා තමයි මේ මිල වැඩි‌ වෙන්නේ.

අද මේ රට අරාජිකයි. මේ රටේ බඩු නෑ. තියෙන බඩු අහස උසට. මේ රට විනාශයි. මේක තවත් තේරෙන්නේ නැති කට්ටිය ඉන්නවා නම් ඒ අයගේ ප්‍රදේශවල මානසික රෝහල බැගින් ඉදි කරන්න මේ අයට ප්‍රතිකාර ගන්න* යනුවෙන්ද සඳහන් කළේය.