ආණ්ඩුව නිකුත් කරන කිසිදු ගැසට් පත්‍රයක් ගැන විශ්වාස තැබිය නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඊට ළඟ ම උදාහරණය හාල් මිල පිළිබඳ ගැසට් පත්‍රය වන අතර මේ කාරණාවලට ඩඩ්ලි සිරිසේන වැනි මහාපරිමාණ සහල් මෝල් හිමියන් කොපමණ සතුටු වනු ඇත්දැයි ඇය ප්‍රශ්න කළාය.

ආණ්ඩුව ගන්නා තීරණය මාසයක් හෝ නිසි පරිදි ක්‍රියාත්මක නොවන අතර මෙය විහිලුවක් බවට පත්ව ඇති බව ද මන්ත්‍රීවරිය චෝදනා කළාය.

දේශපාලනඥයන් කිසිදු තර්කානුකූලව හෝ සැලසුමකින් තොරව ගන්නා තීන්දු තීරණ හේතුවෙන් නිලධාරින් ප්‍රමුඛ සමස්ත ජනතාවක් අසීරුතාවයකට පත්ව ඇති බවත් එහි මෑත උදාහරණය මේ මස පමණක් ඉහළ රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු තනතුරුවලින් ඉල්ලා අස්වූ බවත් ඇය පෙන්වා දුන්නාය.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකුට මහජනතාව පිළිබඳ යම් සංවේදීභාවයක් ඇතැයි යන ප්‍රතිරූපයක් මෙතෙක් බොහෝ දෙනෙක් සිතා සිටි නමුත් එය ද මේවන විට පුහු තර්කයක් වී ඇති බවත් රාජ්‍ය නිලධාරින්, ගොවීන්, ධීවරයින්, කම්කරුවන් ඇතුළු සියලුදෙනා අද පත්ව ඇති අසීරුතාවට වගකිවයුත්තේ ද ආණ්ඩුව බව අමරසූරිය මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය.

-උපුටා ගැනීම මව්බිම පුවත්පත