රු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් වන පළමු පියවර, ඉදිරි අයවැය ලේඛනය තුළින් ගැනීමට එකඟතාව පළ වී ඇතැයි වැවිලි අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ පවසයි.

ජනාධිපතිවරායා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය එක්ව ඊයේ (ජූලි 26) දින දීර්ඝ ලෙස ගුරු – විදුහල්පති වැඩ වර්ජනය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් එහිදී ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමේ අවශ්‍යතාව ද පිළිගෙන ඇති බවත් අද (ජූලි 27) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එහි පියවරක් වශයෙන් අද දිනයේදී සියලු ම ගුරු වෘත්තීය සමිති සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් සහ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවය.

ඔහු සඳහන් කළේ, එහිදී කවරාකාරයෙන් වැටුප් පරිමාණ සකස් විය යුතු ද? යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිත බවය.

රටේ පවතින මූල්‍ය තත්ත්වය අනුව ක්ෂණිව වැටුප් ප්‍රමාණ වෙනස්කම් කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය මේ වතාවේදී නොමැති බවත් එබැවින් ඉදිරි අයවැය ලේඛනය තුළ අදාළ විෂමතා ඉවත් කිරීමට පළමු පියවර ගැනීමට මුදල් අමාත්‍යවරයා ද එකඟතාව පළ කර ඇති බවත් ඔහු පැවසීය.

කෙසේ නමුත් මේ වන විට ජාත්‍යන්තර පාසල් සහ නාගරික පාසල්වල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කෙසේ හෝ සිදු වුවත් අර්ධ නාගරික සහ ග්‍රාමීය පෙදෙස්වල සිසු දරුවන් මේ වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවන්ට පත්ව ඇති බැවින් දරුවන් පිළිබඳව සිතා යළි අධ්‍යාපන කටයුතුවල නිරත වන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.