රටේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සමාජ හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත පිළිබඳ කලබල නොවන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ජනතාවට දැනුම්දෙයි.

එය අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකෙරුණු තොරතුරක් බව ඔහු පවසයි.

ජා – ඇළ බෝපිටිය ශාන්ත නිකොලාස් දේවස්ථානයට ඊයේ පෙරවරුවේ නාවික හමුදා නිලධාරීන් පිරිසක් පැමිණ තිබුණේ විශේෂ දැනුවත් කිරීමක් සඳහාය.

දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවත් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් තමන්ට තොරතුරක් ලැබී ඇති බව එම නිලධාරීන් දේවස්ථානයේ සේවකයින්ට පවසා ඇත.

දේවස්ථාන සේවිකාවක්,

“මම ඇහුවා ඇයි කියලා ඊට පස්සේ කිව්වා ෆාදර් හම්බෙන්න ආවේ කිව්වා. එතකොට මං කිව්වා ෆාදර් නෑ කියලා. එතකොට මේ පණිවුඩයක් තියෙනවා ඔයාට පුළුවන් ද කියන්න කිව්වා. මම හා කිව්වා. ඒ අයට බෝම්බයක් සම්බන්ධ තොරතුරක් දැනගන්න ලැබුණා අපිට ෆාදර් දැනුවත් කරන්න ඕනේ කියවා ද කිව්වා. නාඳුනන අය එයි අයව පරීක්ෂා කරන්න. ෆාදර්ලා වගේ අයත් එයි සෙවිල්ලෙන් ඉන්න කිව්වා.”

මේ අතර කොළඹ අගරදගුරු මැදුරේදී අද (29) පැවති මාධ්‍ය හමුවකදී පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශක කමිටුවේ සාමාජික ගරු සිරිල් ගාමිණි පියතුමන් එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

“දැන් මේ පණිවුඩය වැලිගම්පිටිය, වත්තල, බෝපිටිය, රාගම වගේ දේවස්ථාන කිහිපයකට ම දැනුම්දීලා තියෙනවා. ප්‍රහාරයක් එල්ල වීමේ පොදු අනතුරක් තිබෙනවා නම් කළ යුතුව ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය හරි එහෙම නැත්නම් බුද්ධි අංශය හරි නිල වශයෙන් වගකීම දැරිය හැකි කෙනෙක් කාදිනල් හිමිට දැනුම්දීමයි. දැන් වෙලා තියෙන්නේ පොදු වශයෙන් දැනුම් දෙන්නේ නැතුව කවුරු හරි නිලධාරීන් පිරිසක් ගිහින් කියනවා නම් පස්සේ, වැරදීමකින් සිද්ද වුණ දෙයක් කියලා. ප්‍රශ්නයක් එනවා මේක විහිළුවක් නෙමෙයි. මේක වැරදීමකින් වුණා කියලා ඊළඟ දවසේ ආපහු කිව්වහම අපි කොහොමද විශ්වාස කරන්නේ. මේක ජනතාවගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. ජනතාවගේ ජීවිත එක්ක විහිළු කරන්න එපා කියලා විශේෂයෙන් ඉල්ලා සිටිනවා.”

මේ අතර ආරක්ෂක ආමාත්‍යංශය අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත පිළිබඳ ජනතාව කලබල විය යුතු නැති බවය.

එය අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කර ඇති බව එම නිවේදනයේ සඳහන්ය.