අපේ රට ගැන ඇතැමුන් ප්‍රකාශ කළ මිත්‍යවන්  අසත්‍ය බව පෙන්වා දෙමින් ගෙවීමට තිබූ බිලියනයක ණය මුදල ගෙවා දමමින් අඛණ්ඩව පවත්වාගෙන ආ රටේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට රජයට හැකිවූ බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ  (27) කුරුණෑගලදී ප්‍රකාශ කළේය. 

වසංගත තත්ත්වය මැඩලීම සඳහා අවශ්‍ය එන්නත් කිසිම රටකින් නොලැබෙන බවට විපක්ෂය පුන පුනා කීවද චීනය ඇතුළු ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් ගණනාවකින්ම මේවනවිට අවශ්‍ය එන්නත් තොග පිටින් ලැබෙමින් පවතින බවද දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් ප්‍රාදේශීය කොන්සල් ජනරාල් කාර්යාලය කුරුණෑගලදී විවෘත කිරීමෙන් පසුව අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

ලෝකයේ රටවල් ගණනාවක්ම ලැබුණු එන්නත් තොග අතරේ මහජන චීනයෙන් ලැබුණු එන්නත් තොගය අති සුවිශේෂ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“බටහිර රටවල් සාමාන්‍යයෙන් විවිධ අවස්ථා වලදී අපේ රටේ භාණ්ඩ සම්බන්ධයෙන් විවිධ තීරණ ගන්නවා. චීනය කියන්නේ අපේ දීර්ඝකාලීන මිත්‍රයෙක්. චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. අපි රජයක් හැටියට ඒ බව ප්‍රකාශ කර තිබෙනවා. මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් ඇති ශ්‍රී ලංකාව අභියෝගයක් ඇතිවූ සෑම අවස්ථාවකම ඒවාට නොබියව මුහුණ දීමට හැකි බව ඔප්පු කරලා තියෙනවා. ඉදිරියටත් එසේමයි

ඇමරිකානු ඩොලර් බිලියනයක් ගෙවීමට තිබුණු ණය අපි ගෙවලා මේ රටේ අඛණ්ඩව ආරක්ෂා කිරීමට හැකි වුණා. මේ රටේ විපක්ෂයේ අය මීට සුමාන දෙකකටත් කලින් කීවා මේ රට බංකොලොත් කියලා. අරන් තියෙන ණය ගෙවාගන්න බැහැ කියලාත් කීවා.”