කිලිනොච්චියේ ධීවර සංගම් රැසක් කියා සිටින ගැටලුවලට හේතුව ඔබට අනාවරණය කරදීම අපේ යුතුකමකි. ඒ කිලිනොච්චියේ ජන ජීවිතය අපේ ආර්ථිකය හා බැඳී තිබීම නිසාය.
කිලිනොච්චියේ ධීවර සංගම් පෙන්වා දෙන හැටියට චීන සමාගම්වල ආක්රමණයත්, ඔවුන් විසින් සිදුකරනු ලබන ධීවර කටයුතුත් නිසා කිලිනොච්චියේ ධීවරයන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු රාශියකි.
කිලිනොච්චියේ ධීවර සමිති සමූහය මීට වසරකට ඉහතදී මහත් කලබලයකට පත්වූයේ චීන සමාගමක් කිලිනොච්චියේ මසුන් ඇල්ලීමට එන ආරංචියත් සමගය. ඔවුන් මුලින් ම කළේ ඒ පිළිබඳව පළාතේ ධීවර අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමය. නමුත් ඒ වන විටත් එම නිලධාරීන් කිලිනොච්චියට මෙවැනි පිරිසක් පැමිණෙන බව දැන සිටියේ නැත.
කෙසේ හෝ මාසයක් පමණ යන විට චීන ජාතිකයන් එක්කෙනා දෙන්නා බැගින් කිලිනොච්චියට පැමිණෙන විට ධීවරයන්ට මෙය දැනගන්නට වූයේය. ඔවුන් කළේ චීන සමාගමක් කිලිනොච්චියේ මත්ස්‍ය සම්පත ඩැහැ ගැනීමට පැමිණීමේ සිද්ධියට විරෝධය පළ කරමින් පෙළපාළියක් සංවිධානය කිරීමය.
මේ කතාව ගැන කිලිනොච්චිය, පුනරීන් එක්සත් ධීවර සංගමයේ සභාපති ජෝශප් ෆැන්සිස් යළිත් ආවර්ජනය කළේ මෙසේය.
“අපි විරුද්ධ වුණාම කිලිනොච්චිය දිසාපති කාර්යාලයේ රැස්වීමක් තිබුණා. මේකෙදි අපේ ධීවරයෝ වැඩේට විරුද්ධ වුණා. චීන ජාතිකයනුත් මෙතෙන්ට ඇවිත් හිටියා. ඒ අය කිව්වේ එයාලා මාළු අල්ලන්නේ නෑ. එයාලා කරන්නේ මුහුදු කූඩැල්ලෝ හදලා ඒ පැටව් විකුණන එක විතරයි කියලා. අපිට ඕනෑම වෙලාවක ඒ මුහුද අවට පළාතේ මසුන් මරන්න වෙනත් කටයුතුවල නිරත වෙන්න කිසිම බාධාවක් නෑ කියලත් ඔවුන් කිව්වා.
අපි ඒ වෙලාවෙම කතිකා කර ගත්තේ මේ වැඩේ හරි යන එකක් නෙවෙයි කියලයි. ඒක නිසා අපි නැවතත් මේකට කැමැති නෑ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වේ අපි කිලිනොච්චියේ, පුනරීන් කවුදාරිමුණෙයි පළාත විතරක් මේ කටයුත්තට තෝරා ගන්නවා කියලයි. ඒ මධ්‍යස්ථානයේ සියලුම ලියාපදිංචි කිරීම් අපේ ධීවර සමිතියේ නමින් කරගෙන යන්නටත් ලාභයෙන් යම් කොටසක් අපේ සමිතියට දෙන්න පුළුවන් කියලත් ඔවුන් කිව්වා. අපි ඊට පස්සේ කිව්වේ කිලිනොච්චියේ රජයේ බලධාරියකුගේ මැදිහත්වීම මත නිවැරැදි ගිවිසුමක් අස්සන් කරනවා නම් අපි වැඩේට කැමැතියි කියලයි.
අපි ආයෙ දවසක මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ගිවිසුමක් අස්සන් කරමු කියලා ඒ සාකච්ඡාව අවසන් කළා. ඒත් දැන් මාස දෙකකට පමණ ඉස්සර වෙලා ඉඳලා චීන සමාගමේ අය වැඩේ පටන් අරන්. එයාලා මුහුදු කූඩැල්ලෝ අල්ලන්නේ නෑ කියලා කිව්වට ඒ අය මුහුදු කූඩැල්ලන් අල්ලනවා. අපේ අය වීඩියෝ කරලත් තියෙනවා. දැන් ප්රශ්නය අපිට ඒ පැත්තේ යන්න එන්න බෑ.
එයාලා මුහුදු කූඩැල්ලෝ ඇල්ලුවත් නිලධාරීන් නිහඬව ඉන්නවා. නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන්නේ අපිට විතරයි. දකුණේ සිංහල ධීවරයෝ ඉස්සර කණ්ඩායම් පිටින් ඇවිත් කිමිඳුම් කට්ටල භාවිත කරලා මුහුදු කූඩැල්ලන් ඇල්ලුවා. මුහුදු කූඩැල්ලන් අල්ලන එකට විරුද්ධව සටන් කළා. නිලධාරීන්ට කියලා එයාලව අපි ඇල්ලුවා. උසාවි දැම්මා. ඒ අය අපිත් එක්ක තදින් අමනාප වුණා. හදිස්සියකට අයිස් කුට්ටියක්වත් ඒ අය අපිට නොදෙන තත්ත්වයකට ආවා.
කොහොම හරි වැඩේ නැවතුණා. දැන් මේ චීන සමාගම මුහුදු කූඩැල්ලෝ හදන්න කියලා ඇවිත් මුහුදු කූඩැල්ලෝ අල්ලනවා. අනිත් මසුනුත් අල්ලනවා ඇති. අපිට බලන්න යන්න අවසරයක් නෑ. අපි යනකොට එතන ඉන්න චීන සමාගමේ ලොක්කා කියන්නේ එයාට ඒ සියලුම කටයුතු සඳහා බලපත්‍රයක් තියෙනවා කියලයි. මේ බලපත්‍රය දුන්නේ කවුද කියලා හොයලා බලන්න කිසිම නිලධාරියෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. දැන් පුනරීන් පළාතේම ධීවරයන් පීිඩාවට පත්වෙලා ඉන්නේ.
මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීම සඳහා අවසර ඉල්ලා ඇති මේ සමාගම පූර්ණ වශයෙන් චීනයට අයත් සමාගමක් නිසා ඊට අවසරයක් ලබා ගැනීම මුල් කාලයේදී ඉතා අසීරු වී තිබේ. මේ නිසා ශ්‍රී ලංකාවේ තවත් එවැනිම මුහුදු ආහාර සකසනු ලබන සමාගමක සහාය මත දෙපිරිස හවුල්වී අලුතින් තනාගත් සමාගමක නාමයෙන් මේ කටයුතු කරගෙන යයි.
මේ නව සමාගම කිලිනොච්චියට පැමිණීමට පෙර මුහුදු කූඩැල්ලන් සම්බන්ධ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත්තේ යාපනයේ අරියාලේ ප්රදේශයේය. එම සමාගමේ කටයුතු සාර්ථක නොවීමෙන් පසුව ඔවුන් කෙමෙන් කෙමෙන් කිලිනොච්චිය, පුනරීන් ප්‍රදේශයට පැමිණ තිබේ.
අරියාලේ ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් සම්බන්ධ මධ්‍යස්ථානය වසා දමා නැතත් එහි ක්‍රියාකාරකම් අඩු වශයෙන් සිදු වන්නේ ලාභය අඩුවීම නිසාය. නමුත් කිලිනොච්චියේ පුනරීන් ප්‍රදේශයේ ආරම්භ කොට පවත්වා ගෙන යන මධ්‍යස්ථානයේ ප්‍රගතිය ඉතා සාර්ථක නිසා චීන සමාගම දිනෙන් දින ඔවුන්ගේ ක්‍රියාකාරකම් සිදු කරන මුහුදු ප්‍රදේශය වැඩි කරන්නට පටන් ගෙන ඇත.
මේ තත්ත්වය නිසා කිලිනොච්චියේ ධීවරයන්ට සිය ඉස්සන් කොටු, කකුළුවන් කොටු පවත්වාගෙන යෑමේ වපසරිය දවසින් දවස හීන වෙන්නට පටන් ගෙන තිබේ.
මුලින් පුනරීන් කවුදාරීමුණෙයි ධීවර සංගමයට ලාභයෙන් කොටසක් දෙන බවටත් එහි සියලු අයිතිය එම ධීවර සංගමයේ නමින් ලියාපදිංචි කරන බවත් ප්‍රකාශ වුවත් දැන් කිලිනොච්චියේ ධීවරයන්ට සිදුව ඇත්තේ ඔවුන් සතුව පාරම්පරිකව තිබූ මුහුද චීන ජාතිකයන් හොර රහසේ බද්දට ගෙන සිටින මොහොතක ඒ දෙස බලා විරිත්තන්නට පමණි.
කිලිනොච්චියේ ධීවරයන් මේ චීන සමාගමේ උගුලකට හා උපක්‍රමයකට හසුවී සිටින අතරවාරයේ සමස්තයක් වශයෙන් මුළු උතුරේම ධීවරයෝ ඉන්දීය ධීවරයන්ගේ බලහත්කාර ආක්‍රමණය නිසා පීඩා විඳියි. තත්ත්වය එසේ තිබියදී අලි මදිවාට හරක් යැයි කියන කියමන සේ චීන සමාගමද දැන් උතුරේ ධීවරයන්ට විවිධ බලපෑම් කරමින් කොකා පෙන්වීමට පටන් ගෙන තිබේ.
යාපනය, වඩමාරච්චි ධීවර සංගමයේ සභාපති එස්. වර්ණකුලසිංහම් කියන අන්දමට මේ ප්රශ්නය ඉදිරියේදී ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්නයට වඩා භයානක විය හැකිය.
උතුරට එන ඉන්දීය ධීවරයන් මැඬ පැවැත්වීමට සීමා කිරීමට හා ඔවුන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන නමුත් චීන සමාගම්වලට එවැනි තහනමක් නොමැත. රජයේ බොහෝ පාර්ශ්වයන්ගේ ආශීර්වාදයද ඔවුන්ට ලැබෙන නිසා අවසානයේදී අසරණ වන්නේ උතුරේ ධීවරයාම පමණක් බව වර්ණකුලසිංහම් ධීවර නායකයා කියා සිටියි.
“ඉන්දීය ධීවරයන් උතුරු මුහුදට පැමිණීම දැන් වසර ගණනාවක් තිස්සේම සිදු වෙනවා. මේ ප්රශ්නය නිසා පීඩා විඳින්නේ උතුරේ ධීවර ජනතාවයි. ඉන්දීය ධීවරයන් උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණ මුහුදේ ඉන්න මසුන් කොල්ලකෑම පමණක් නෙවෙයි අපේ ධීවරයන් අල්ලා ගන්නා මාළුත් මංකොල්ල කනවා. ඒ ධීවරයෝ අල්ලන නිසා මාළුන්ගේ බිත්තර විනාශ වෙනවා. මේ නිසා මාළු බෝවීම අඩුවීගෙන යනවා.
ඔවුන්ගේ කොකු දැල්වලට හසුවී සාගරයේ කොරල් ඇතුළු සියලු දේ විනාශ වෙනවා. මේ තරම් හානියක් වෙලත් මේක නතර කරගන්න ලංකාවේ බලධාරීන්ට හැකියාව ලැබිලා නැහැ.
නාවික හමුදාව මේ ඉන්දීය ධීවරයන්ගේ පැමිණීම නතර කරන්න විශාල උත්සාහයක් ගන්නවා. ඒත් ඒක සාර්ථක වෙන්නේ ඉතාම අඩුවෙන්. නාවික හමුදාව ඉන්දියාවේ ධීවරයන් හතළිහක් විතර එක පැත්තකින් අත්අඩංගුවට ගන්නකොට අනෙක් පැත්තෙන් ඉන්දීය ධීවරයෝ හත්සීයක් විතර හොරෙන් මාළු අල්ලනවා.
මේ විධියට බලන කොට චීනයෙන් ඇවිල්ලා ඉන්න අයව කොහොමවත් නවත්වන්න ලැබෙන්නේ නෑ. මේක නිසා අපි ඉල්ලන්නේ මේ චීන සමාගම්වලට විවිධ ධීවර කටයුතු සඳහා අපේ මුහුද ලියලා දෙන්න එපා කියලයි.”
චීන සමාගම් උතුරු පළාතට පැමිණ විවිධ ධීවර කටයුතුවල නිරත වන්නට පටන් ගෙන මාස තුනකටත් වඩා වැඩි කාලයක් ගතවී ඇතත් අපේ රටේ ධීවර දෙපාර්තමේන්තුව සතුව හෝ චීන ජාතිකයන්ට ලැබී ඇති බලපත්‍ර සම්බන්ධ කිසිම සටහනක් නොමැත.
ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ උතුර, නැඟෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් පවසන්නේ ඔවුන්ද ඒ පිළිබඳව සොයා බලමින් සිටින බවයි.
“උතුරේ මේ වගේ දෙයක් සිදුවනවා කියන කාරණය ඒ පළාත්වල ධීවර සමිති අපට දැනුම් දුන්නේ දැන් සතියක පමණ කාලයකට ඉහතයි. ඒකට හේතුව ඔවුන් ප්‍රාදේශීය මට්ටමේ බලධාරීන් සමඟ සාකච්ඡා කොට යම් විසඳුමක් ලබා ගැනීමට ගතවූ කාලයේදී උත්සාහ කිරීමයි. නමුත් එය සාර්ථක වී නොමැති බව අපිට පේනවා. මෙතැන තියෙන ලොකුම ප්රශ්නය තමයි මේ ධීවර කටයුතු සඳහා චීන සමාගම්වලට බලයක් හෝ බලපත්‍රයක් දීලා තියෙන්නේ කවුද කියන කාරණයයි. ඒක හොයා ගන්නවත් නෑ. අඩුම තරමින් ධීවර දෙපාර්තමේන්තුවවත් මේ ගැන දන්නේ නෑ. අපිට කිලිනොච්චියේ ධීවර සමිති මේ ගැන කිව්වම අපි හොයා බැලුවා. නමුත් තොරතුරු නෑ. ඒ නිසා අපි තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ අයැදුම්පත් යොමු කරලා අදාළ අංශවලින් ඉල්ලීමක් කරලා තියෙනවා මේ චීන සමාගම්වලට බලපත්‍ර දීලා තියෙන්නේ කවුද කියලා තොරතුරු ඉදිරිපත් කරන හැටියට. තවමත් ඒ තොරතුරු අපිට ලැබිලා නැහැ.
මේ තොරතුරු ලැබුණට පස්සේ අපි උතුරේ සියලුම ධීවර සංගම් සමඟ සාකච්ඡා කරනවා. ඊට පස්සේ තීරණයකට එනවා මේ සම්බන්ධයෙන් ගන්නට පුළුවන් ක්‍රියාමාර්ගයන් මොනවාද කියන කාරණය ගැන. මේ කටයුතු ඉතාම අසාධාරණයි කියලා තමයි අපි කියන්නේ. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නට අපි බලාපොරොත්තු වෙනවා.”
ධීවර සංවිධාන විසින් චීන සමාගම් පිළිබඳව තෝම්බු සොයමින්ද ඔවුන්ට බලපත්‍ර නිකුත් කළ පිරිස් සොයමින්ද කටයුතු කරද්දී චීන සමාගම් දවසින් දවස මීටර් ගණනින් ඔවුන්ගේ ව්‍යාපෘතියේ පරිමා ක්ෂේත්‍ර පුළුල් කරමින් සිටියි. පුනරීන් ප්‍රදේශයේ මුහුද මැද ඔවුන් මුලින් ඉදිකළ එකම එක අට්ටාලය වෙනුවට දැන් අට්ටාල ගණනාවක්ම ඉදිවී තිබේ. මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීම සඳහා ඉදිකරන ලද කොටුද ඒ ප්‍රමාණයටම දවසින් දවස වැඩි වෙමින් පවතී.
එය එසේ සිදු වෙද්දී මුදල් හා වෙනත් වරප්‍රසාද ලබාදීමේ චීන සමාගම්වලට විරෝධය පළ කොට සිටින ධීවර නායකයන්ව බිලි බාගැනීමට චීන සමාගම් උත්සාහ දරා තිබේ.
අප එය එසේ කියන්නේ මේ චීන සමාගම්වලට එරෙහිව කිලිනොච්චියේදී ප්‍රබල හඬක් නැඟූ ධීවර සමිති නායකයෝ දැන් එකිනෙකා අනෙකාට බෝලය පාස් කරමින් මේ විරෝධතාවලින් ඉවත්ව සිටින්නටද පටන් ගෙන තිබේ.
කිලිනොච්චියේ ඇතැම් ධීවර සමිති නායකයෝ මුදල් හමුවේ නිහඬව සිටිති. එනම් ඔවුන් සටන පාවාදී හමාරය. නමුත් පිට කොන්දක් ඇති ධීවර නායකයන් කීපදෙනකු තවමත් සටන පාවාදී නොමැත. ඔවුන් මේ ගැන දවසින් දවස විපරමෙන් සිටිති. අවසානයේදී කුමක්වත් කළ නොහැකිනම් චීන සමාගම්වලට එරෙහිව කිලිනොච්චියේ විරෝධතා පැවැත්වීමට හෝ ඔවුන් සූදානමින් සිටිති.
– උපුටා ගැනීම මව්බිම පුවත්පත