පෙරේදා (10) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ කළ ප්‍රකාශයක් අසත්‍ය බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.

කාබනික කොම්පෝස්ට් පොහොර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය කිසිසේත්ම අවසරයක් ලබාදී නොමැති බවයි ඔහු පවසන්නේ.

2021 – 22 මහ කන්නය සඳහා කාබනික පොහොර හා කීලේටඩ් අංශු මාත්‍ර ශාඛ පෝෂක ආනයනය කිරීම සඳහා ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවත් ඒ වෙනුවෙන් දේශීය කාබනික පොහොර නිෂ්පාදනයෙන් සම්පූර්ණ අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි බැවින් මෙම විශේෂිත පොහොර කාබනික පොහොර හැටියට රටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යෑමට කැබිනට් අනුමැතිය ගරු කෘෂිකර්ම ඇමතිතුමාට ලබාදී ඇති බවත් පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඊයේ (11) දින අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසා සිටියේ එවැනි කිසිඳු අවසරයක් කැබිනට් මණ්ඩලය ලබාදී නොමැති බවයි.

මේ වනවිටත් ගොවි ජනතාව සහ අනෙකුත් මහා පරිමාණ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදකයින් නයිට්‍රිජන් ප්‍රතිශතය අවම වශයෙන් 1%ක් වූත් කාබනික ඝන පොහොර නයිට්‍රිජන් ප්‍රතිශතය 3%ක් වූත් පොහොර නිෂ්පාදනය කිරීමත් ආරම්භ කර ඇති බවත් ආනයනය කිරීමට අවසරය ලබාදුන්නේ ස්වාභාවික ශාඛ පෝෂක මගින් නිපදනවන ලද නයිට්‍රිජන් නිස්සාරකයක් බවත් ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම, දේශීයව නිෂ්පාදනය කරන කාබනික පොහොර සමග මේ නයිට්‍රිජන් නිස්සාරකය භාවිතා කරලා මේ මහ කන්නයට අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාව ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානමෙන් ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.