මුදල් හුවමාරු පහසුකමක් (Currency Swap) යටතේ ඉදිරියේදී ඩොලර් බිලියන 1.65ක් සපයා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

ඔහු ඒ බව පවසා ඇත්තේ ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම සඳහා “විදෙස් මුදල් හිඟතාවයකට” මුහුණ දී ඇතිබවට පළවන තොරතුරුවලට ප්‍රතිචාර වශයෙනි.

“ජූලි මාසයේදී බංග්ලාදේශ මහ බැංකුවෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇති එ.ජ. ඩොලර් මිලියන 250ක මුදල් හුවමාරු පහසුකම, අගෝස්තු මාසයේදී ඉන්දියානු සංචිත බැංකුව සමඟ එළැඹීමට නියමිත එ.ජ. ඩොලර් මිලියන 400ක දකුණු ආසියානු කලාපීය සහයෝගිතා මූල්‍ය සංවිධාන මුදල් හුවමාරු පහසුකම සහ ඉන්දියාව සමඟ දැනට සාකච්ඡා මට්ටමේ පවතින එ.ජ. ඩොලර් මිලියන 1,000ක විශේෂ මුදල් හුවමාරු පහසුකම අයත් වෙනවා. මෙම ලැබීම්වලට අමතරව, 2021 අගෝස්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැණුම් හිමිකම් ප්‍රතිපාදන යටතේ ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 800ක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා,” යනුවෙන් මහ බැංකු අධිපතිවරයා පැවසීය.

බංග්ලාදේශ මහ බැංකුවෙන් අදාළ මුදල ජූලි මාසයේදී සහ සාර්ක් මූල්‍ය හුවමාරු පහසුකම යටතේ අගෝස්තු මාසයේදී ද මුදල් ලැබීමට නියමිතය.    

එසේම අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 800ක මුදලක් ලබාගැනීමේ හැකියාව ද ශ්‍රී ලංකාව සතුය.

මේ වනවිට ශ්‍රී ලංකාව සතුව නිල සංචිත දළ වශයෙන් ඩොලර් බිලියන 4ක් ඇති බව ඔහු පැවසීය.

ඊට අමතරව චීන මහ බැංකුව හා එළඹුණු එකඟතාව හරහා තවත් ඩොලර් බිලියන 1.5ක් සුදානම් ව ඇතිබව මහ බැංකු අධිපතිවරයා කීය.

ණය වාරික සහ පොලී ගෙවීම් සඳහා මෙම වසරේදී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.6ක් අවශ්‍ය බව සඳහන් වේ.