අද (21දා) සිට දිවයින පුරා සංචරණ සීමා ලිහිල් වූවද එක් නිවසකින් හෝ නවාතැනකින් පිටවිය හැක්කේ උපරිම දෙදෙනකුට බව ජූලි මස 05 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි කි‍්‍රයාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ 48 ක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

ඊයේ සවස නිකුත් කළ මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ බස්නාහිර පළාතේ පොදු ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවා සේවක ප‍්‍රවාහනය සඳහා පමණයි.

සෙසු පළාත්වල එම කාලසීමාව තුළ ආසන ධාරිතාවෙන් හරි අඩක සීමාවක් යටතේ මගීන් ප‍්‍රවාහනය කළ හැකියි.

පෞද්ගලික වාහන, කුළී රථ සහ ටැක්සි රථවල ගමන් කළ හැක්කේ උපරිම දෙදෙනකු පමණයි.

බස්නාහිර පළාතේ පිහිටි ආයතනවල රැස්වීම්, වැඩමුළු, සම්මන්ත‍්‍රණ, සන්නාම දියත් කිරීම සඳහා අවසර නැති අතර සෙසු පළාත්හි අත්‍යවශ්‍ය නම් ආයතන රැස්වීම් 10 දෙනකු සහභාගි කරගෙන පැවැත්විය හැකියි.

වැඩමුළු, සම්මන්ත‍්‍රණ සහ සන්නාම දියත් කිරීම සෙසු පළාත්හි 25 දෙනකුට සීමාකරගෙන පැවැත්විය හැකියි.

බස්නාහිර පළාතේ පදික වෙළෙඳුන්ට ජූලි 05 වැනිදා තෙක් වෙළෙඳාම් කටයුතු සඳහා අවසර නැති අතර සෙසු පළාත්හි ලියාපදිංචි වෙළෙඳුන් සඳහා ඊට අවසර හිමිවනවා.

ඊට අමතරව බස්නාහිර පළාතේ සාප්පු සංකීර්ණ සහ නිමි ඇඳුම් විකිණීමේ වෙළෙඳසල්ද ජූලි 05 වැනිදා තෙක් විවෘත කිරීමට අවසර නැති අතර සෙසු පළාත්හි සාප්පු සංකීර්ණ විවෘත කළ හැකි වනවා.