පාසල් නැවත ආරම්යේදී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ලබාගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. කොවිඩ් -19 වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් යළි ආරම්භ කරන අවස්ථාවකදී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනාගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය අත්‍යවශ්‍ය කාරණයක් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇත.

පාසල් නැවත විවෘත කිරීම සහ සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ. අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් ලබා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉටු කරගත හැකි බව ද සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වා ඇති අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නම් 11 ශ්‍රේණියේ සහ 13 වන ශ්‍රේණියේ දරුවන්ට එහි ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවය. එමෙන්ම මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට නම් 279,000ක් පමණ වන ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු ලක්ෂ 3කට ආසන්න පිරිසට එන්නත් ලබාදීමේ වැදගත්කම ද අධ්‍යාපන ලේකම්වරයා පෙන්වාදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

කෙසේවෙතත් පාසල් ආරම්භ කිරීමේදී දරුවන් සහ ගුරුවරුන් ආරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ පාසලට කැඳවා ගැනීම පිළිබඳව වැඩපිළිවෙලක් සකස් විය යුතු බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.