ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ක්ලවුඩ් දත්ත පද්ධතිය තවදුරටත් අකර්මන්‍ය වී තිබේ.
අද (22) පුවත්පත් අනාවරණය කර තිබුණේ, මේ හේතුවෙන් නව ඖෂධ හා වෛද්‍ය උපකරණ ලියාපදිංචියත් බලපත්‍ර අලුත් කිරීමත් මේ වනවිට ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි.
කෙසේවෙතත් කොවිඩ් තත්ත්වයට මුහුණදීමට අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණත් අනෙකුත් ඖෂධත් හිඟයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට පියවර ගෙන ඇතැයි, ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ සභාපති වෛද්‍ය රසිත විජේවන්න මහතා ප්‍රකාශ කළේ ය.
2018 වසරේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ ලියාපදිංචිය හා ලියාපදිංචි කිරීම් අලුත් කිරීමට අදාළ කටයුතු ස්වයංක්‍රීයව සිදුකිරීමට මුලපිරී ය.
එහිදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධීක්ෂණය හා නියාමනයට යටත්ව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය භාරයේ පවතින ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩය හෙවත් පරිගණක දත්ත අවකාශය තුළ
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තොරතුරු ගබඩා කිරීම සිදුවිය.
එම ගබඩා කිරීමේ කටයුතු සඳහා ඖෂධ නියාමන අධිකාරිය විසින් බාහිර තොරතුරු තාක්ෂණ සමාගමක් තෝරාගත්තේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ටෙන්ඩර් කැඳවීමකින් පසුවයි.
කොවිඩ් වසංගතයත් සමග මෙම දත්ත පද්ධතිය වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීමට සිදුවූ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මස 15 වැනිදා එම අධිකාරිය විසින් ප්‍රදර්ශනය කළ මෙම දැන්වීම අනුව ඖෂධ හා වෛද්‍ය උපකරණ ලියාපදිංචිය හා බලපත්‍ර අලුත් කිරීම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය පද්ධතිය මත සිදුකෙරිණ.
ජාතින ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, වෛද්‍ය රසිත විජේවන්ත මහතා සඳහන් කළේ, ජුලි 09 වැනිදා සිට මේ දක්වා ස්වයංක්‍රීය පරිගණක පද්ධතියේ ක්‍රියාදාමයන් සියල්ල ඇනහිට ඇති බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද සිදු කර ඇති බවයි.
”ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය දත්ත පද්ධතියේ ක්‍රියා විරහිත වීමක් ගිය මාසේ ජුලි 09 වැනිදා , එදා සිට මේ දක්වා ස්වයංක්‍රීය පරිඝනක පද්ධතියේ ක්‍රියාදාමයන් සියලුම දේවල් ඇනහිටිලා තියෙන්නේ. ඒ සම්බන්ධව මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම පැමිණිල්ලකුත් කරලා තියන්නේ. ඔවුන් මේ වන කොට කෝට් ඕඩර් එකක් ලබාගෙන මොරටුව යුනිවසිටි එකත් සම්බන්ධ කරගෙන මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා කියලා තමයි දැනට දැනුවත් කරලා තියන්නේ. ඒ සම්බන්ධව ඉරිදි කටයුතු දැනුවත් කිරීම් ලබන සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා”
මේ අතර අද (22) සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කර අත්තේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල බලපත්‍ර අලුත් කිරීම අඩමානයට සිදුකිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට සිදුවිය හැකි බවයි.
බලපත්‍ර අලුත් කිරීම් , අඩමානයට සිදුකිරීම තාවකාලික පිළියමක් ලෙස සලකන්නැයි තමන් සමග පැවති රැස්වීමකදී එම අධිකාරිය ඖෂධ සමාගම්වලට දැනුම් දී ඇති බව ද සන්ඩේ ටයිම් වාර්තාවේ සඳහන් වේ.
අලුත් ඖෂධ ලියාපදිංචියට අදාළව අයදුම් කිරීමේ ක්‍රියාවලිය සඳහා තවමත් විසඳුමක් නොමැති බව ද පුවත්පත පෙන්වා දෙයි.
මූලාශ්‍ර උපුටා දක්වමින් පුවත්පත වාර්තා කරන්නේ ඖෂධ ලියාපදිංචි ක්‍රියාවලිය දැනට අකර්මන්‍ය වී ඇති බැවින් අලුත් ඖෂධ ලියාපදිංචි සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අධිකාරියට සිදු වී ඇති බවයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආවරණ අනුමැතියට යටත්ව අඩමානයට ඖෂධ ලියාපදිංචි කරන්නේ නැත.
ඖෂධයක් ලියාපදිංචි කෙරෙන්නේ වසර 2 ක් හෝ වසර 5 ක පූර්ණ කාලයක් සඳහායි.
නිතුත් කෙරුණු බලපත්‍රයක කාලය ඉකුත් වීමට මාස 6 කට පමණ පෙර අලුත් ලියාපදිංචි කිරීම් සඳහා අයදුම් කළ යුතුයි.
එම මාස 6 ක කාලය තුළදී හදිසි අවශ්‍යතාවක් මතු වුවහොත් පොරොත්තු ලේඛනයේ තිබෙන බලපත්‍ර සක්‍රීය කළ හැකියි.
ඖෂධ ආනයන මූලාශ්‍ර උපුටා දක්වමින් ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ තමන් නියාමනයට යටත් බැවින් පොරොත්තු ලේඛනයේ තිබෙන ඖෂධ තමන්ට අවශ්‍ය අවස්ථාවලදී ආනයනය කළ නොහැකි බවයි.
එම පුවත් වාර්තාවට අනුව ඖෂධ සමාගම් විසින් ඖෂධ ලියාපදිංචිය හා ලියාපදිංචි අලුත් කිරීමට අදාළව සපයා ඇති සියලු තොරතුරු ගබඩා කර තිබී අත්තේ ලංකා ආණ්ඩු ක්ලවුඩය තුළයි.
පුවත්පතට අනුව ලංකා ආණ්ඩු ක්ලවුඩය තුළ ගබඩා කෙරුණු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තොරතුරු දත්ත මැකී ගොස් ඇත්තේ අධිකාරිය වෙනුවෙන් එම ගබඩා කිරීම් සිදුකළ පෞද්ගලිය ආයතනයේ සේවකයෙකු අතිනි.
මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ, මේ වනවිට ස්වයංක්‍රීය දත්ත පද්ධතියට බාර දී ඇති ඖෂධ සම්බන්ධ විස්තර ඇතුළත් ක්‍රියාදාමය ඇණ හිට ඇති බවයි.
”මේ වෙනකොට ස්වයංක්‍රීය දත්ත පද්ධතියට බාර දීපු ඖෂධ සම්බන්ධ විස්තර ඇතුළත් ක්‍රියාදාමය ඇණ හිටලා තියෙන්නේ. එතකොට ඒ ඖෂධ සඳහා මේ වෙනකොට පරිගණක පද්ධතිය හරහා ඉන්දියාව ඉදන් මේ බාර දීලා තියෙන ඖෂධ ගැනීම් කටයුතු සඳහා මේ වෙනකොට ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. නමුත් ලංකාවේ ඖෂධ කොවිඩ් සම්බන්ධ ඖෂධ හරි අත්‍යවශ්‍ය ඖෂධවලට හරි හානියක් නොවෙන්න,ඇගයීම් කටයුතු කරගෙන යනවා.ඒ සම්බන්ධයෙන් කිසිම සැකයක් තියා ගන්න ඕන නැහැ.ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වෙලා තීරණය කරනවා.කිසිම ආකාරයක සැපයීමට හිඟයක් ඇති නොවීමටත් ඒගේම අත්‍යවශ්‍ය උපකරණ ගෙන්වා ගැනීමේදී හිඟක් ඇති නොවීමටත් නොවීමටත් වගබලාගන්නවා”
මේ අතර සිද්ධියට අදාළව කරෙන පරීක්ෂණ පිළිබඳව අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේ ය.
එම දෙපාර්තමේන්තුව කියා සිටියේ දැනට සිද්ධියට අදාළව කිසිදු පුද්ගලයෙකුට ප්‍රකාශයක් ලබාගෙන නොමැති අතර මොරටුව විශ්වවිද්‍යාලය සමග එක්ව තාක්ෂණික විමර්ශනයක් කෙරමින් සිටින බවයි.
රටේ ජාතික දත්ත පද්ධතියක් තුළ ගබඩා කර තිබූ අධිසංවේදී දත්ත මැකී ගියේ කෙසේද?
සියල්ලට වඩා බරපතළ ප්රශ්නය වන්නේ මෙම දත්ත වෙනත් විකල්ප ආරක්ෂිත තැනක ගඩබා කිරීමටවත් අදාළ ආයතනවලට වගකීමක් නොතිබුණේ ද?
මෙවැනි ක්රියාවළියකදී අවම පිරිවිතරයන්වත් සම්පූර්ණ නොකර විවිධ ආයතනවලට මේ ගනුදෙනු පවරා රටේ සංවේදී තොරතුරු මේ අයුරින් විනාශ කර දැමීමට ඉඩ දිය යුතු ද?