කාබනික පොහොර යැයි කියා ඩොලර් මිලියන 63ක් වැයකොට චීනයෙන් ගෙන්වීමට යන “චීන කැලිකසළ” ආනයනය වහාම නවත්වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසනවා.

චීනයේ කිංඩාවෝ නම් සමාගම හරහා රජය ගෙන්වීමට යන්නේ චීනයේ නාගරික කැළිකසළ වලින් නිෂ්පාදිත විස බැක්ටීරියාවලින් සමන්විත පොහොර වර්ගයක් බවත් එය අපේ රටේ බොහෝ වගාවන්ට සේම අපේ පොළොවට හානිකර ක්‍ෂුද්‍රජීවීන් සහිත බැවින් ඒ හරහා විශාල විනාශයක් සිදුවීමේ අනතුර ඉහළ බවත් ‘මවුබිම’ පුවත්පත සමඟ සිදුකළ සාකච්ඡාවකදී මන්ත්‍රිවරයා අවධාරණය කර තිබෙනවා.

රටේ කාබනික පොහොර පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන බොහෝ විශේෂඥයන් කාබනික පොහොර ආනයනය සිදුනොකළ යුතු යැයි අවධාරණය කර තිබියදීත් ආණ්ඩුව චීන කැළිකසළ ආනයනය කිරීමට යන්නේ කුමන පදනමකින් දැයි ඔහු ප්‍රශ්න කර සිටිනවා.

රජය අතීසාරයට අමුඩ ගසන ආකාරයට කිසිදු සැලසුමක් නොමැතිව රසායනික පොහොර, පළිබෝධනාශක, වල්නාශක යන කෘෂි යෙදවුම් ලංකාවට ගෙනඒම තහනම් කළ බවත් එවැනි ක්‍ෂේත්‍රයක් ගැන තීන්දු ගැනීමේදී වඩා අධ්‍යයනයකින් යුතුව තීරණ ගත යුතුව තිබූ නමුත් ආණ්ඩුවේ මෙම ක්ෂණික සහ ජාතික වැඩ පිළිවෙළක් නොමැති තීන්දු ගැනීම හේතුකොටගෙන බොහෝ වගාවන්වල යෙදෙන ගොවීන් විශාල දුෂ්කරතාවකට මුහුණදී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා.