නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි, රටපුරා අලංකාර ලෙස නගර 100 ක් එකවර සංවර්ධනය කිරීමේ වැඩ සටහන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ, හිරිපිටිය නගරයෙන් ඇරඹෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

හෙට දින ඇරඹෙන නගර 100 සංවර්ධන ව්‍යාපෘතියට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නගර 08 ක් තෝරාගෙන ඇත.කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ, අඹන්පොළ

බෝවත්ත, බිංගිරිය, අලව්ව, හෙට්ටිපොල, පන්නල මාකදුර, කටුපොත යන නගර සංවර්ධනය කිරීමට නියමිතය.

ප්‍රධාන හා ප්‍රාදේශීය නගර අතර පවතින අසමතුලිතතාව අවමකර, සියලු ජනතාව සඳහා එකසමාන නාගරික පහසුකම් ලබාදීම තුළින්, එම ජනතාවගේ සමාජ, දේශපාලන හා ආර්ථික අවශ්‍යතාවයන් ඉටුකිරීම මෙම නගර සංවර්ධනයේ මූලික අරමුණ වන බව මෙම ව්‍යාපෘතිය සිදුකරන නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

විශේෂයෙන් රටපුරා විහිදී ඇති දෙවන හා තෙවන පෙළේ නගර, ඒවායේ කලක සිට පැවත එන අසංවර්ධිත සංවර්ධනය හේතුකොටගෙන මහජනතාවට පීඩාකාරී ලෙස තවමත් පවතින නගර වෙනස්කර, ඉතා අලංකාර හා ක්‍රමවත් මහජන හිතකාමී නගර ලෙස සංවර්ධනය කිරිම මෙහිදී සිදුකෙරේ.

සෑම නගරයකම පොදුවේ දක්නට ලැබෙන අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම, අක්‍රමවත් පදික වේදිකා සකස් කිරීම, අලුත්වැඩියා කිරීම සහ අලුතින් ඉදිකිරීම, මාර්ග දෙපස කාණු පද්ධති සකස් කිරීම, අලුත්වැඩියා කිරීම හා අලුතින් ඉදිකිරීම, දැනට පවතින රථගාල් සංවර්ධනය කිරීම හා අලුතින් ඉදිකිරීම සිදුවෙයි.

එසේම, අනවසර හා අක්‍රමවත්ව පවතින සියලු නාමපුවරු ක්‍රමවත් කිරීම හෝ ඉවත් කිරීම, රුක් රෝපණය කිරීම, පොදු මහජන ගොඩනැගිලි, තාප්ප යනාදිය නවීකරණය කිරීම, මාර්ග සහ දිශා පුවරු එකම ආකාරයට පවත්වා ගැනීම, කුණු කසල එකතුවන ස්ථාන ආදිය ඉදි කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ද ඒ යටතේම සිදුවේ.

තවද, අවිධිමත් ලෙස තැන් තැන්වල පවත්නා තාවකාලික වෙළෙඳ කුටි ඉවත්කර සුදුසු ස්ථානවල සුදුසු ලෙස ඒවා නැවත සකස් කිරීම, පැති බැමි සහ ආරක්ෂක වැටවල් ඉදි කිරීම වැනි ක්‍රියාකාරකම් ද මෙයට ම ඇතුළත් වේ.

එම වැඩපිළිවෙළ තුළ අලංකාර සහ හිතකර ලෙස නගර සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කිරීම සඳහා, එක නගරයකට රුපියල් මිලියන 20 ක් වන සේ නගර 100 සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කර තිබේ.

මෙම තත්ත්වයන්ට අදාලව ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළින් තෝරාගත් නගර 100 එම දිස්ත්‍රික්ක යටතේ වෙන් වෙන්ව මෙසේ දක්වා තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ නගර 07 යි.

-කොටිකාවත්ත, හංවැල්ල, පාදුක්ක, ඇඹුල්ගම,කඩුවෙල, විද්‍යාල හංදිය සහ මොරටුව.

ගම්පහ දිස්ත්‍රික්කයේ නගර 10 යි.

-පෑලියගොඩ, ඒකල, ඇවරියවත්ත, මිනුවන්ගොඩ, හේනේගම, මීරිගම, දිවුලපිටිය, ගණේමුල්ල, පූගොඩ සහ අත්තනගල්ල.

කළුතර දිස්ත්‍රික්කයේ නගර 04 යි.

-හොරණ, නාගොඩ, දොඩංගොඩ සහ මීගහතැන්න

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර 06 යි.

-වීරවිල, රන්න, චිත්‍රාගල, නෝනාගම, අගුණුකොළපැලැස්ස සහ ලුණුගම්වෙහෙර.

මාතර දිස්ත්‍රික්කයේ නගර 06 යි.

-දෙයියන්දර, මොරවක, පිටබැද්දර, දෙණියාය, වැලිගම සහ කඹුරුපිටිය.

ගාල්ල දිස්ත්‍රික්කයේ නගර 04 යි.

-කුමාරකන්ද, බෙන්තර අම්බලන්ගොඩ සහ හබරාදූව.

රත්නපුර දිස්ත්‍රික්කයේ නගර 05 යි.

-රුවිට, අයගම, නිවිතිගල, ගොඩකවෙල සහ බලන්ගොඩ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ නගර 04 යි.

-රඹුක්කන, ගලිගමුව, බුලත්කොහුපිටිය සහ මොරොන්තොට.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර 09 යි.

-කොබෙයිගනේ, අඹන්පොල, හිරිපිටිය, බිංගිරිය, අලව්ව, හෙට්ටිපොල, පන්නල, පොල්ගහවෙල සහ බම්බුක්කටුව.

පුත්තලම දිස්ත්‍රික්කයේ නගර 03 යි.

-හලාවත, තෝප්පුව සහ පාලවිය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර 04 යි.

-තිරප්පනේ, එප්පාවල, කජුගොල්ලෑව සහ අනුරාධපුරය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නගර 04 යි.

-අරලගංවිල, මැදිරිගිරිය, වැලිකන්ද සහ ජයන්තිපුර.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ නගර 02 යි.

-කිලිනොච්චි සහ පූනරින්.

යාපනය දිස්ත්‍රික්කයේ නගර 02 යි.

-මුරුතනාමඩම් සහ වෙලනායි.

මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ද, වව්නියාව දිස්ත්‍රික්කයෙන් වව්නියාව ද, මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය යන නගර 03 තෝරාගෙන ඇත.