කොළඹ – කොම්පඤ්ඤ වීදියේ පිහිටි වසර 150 ක් පමණ ඉපැරණි ගොඩනැගිල්ලක් කඩා බිදදැමීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබෙනවා.

මෙම ගොඩනැගිල්ලේ කොටසක් පසුගිය ජුනි මස කඩාවැටී තිබුණු අතර ඉන් පසුව එය සම්පූර්ණයෙන් කඩාඉවත්කිරීම සදහා නාගරික සංවර්ධන අධිකාරිය කඩිනමින් කටයුතු කෙරුණා.

කෙසේ වෙතත් ඉපැරණි ගොඩනැගිල්ලක් එලෙස කඩා ඉවත්කිරීම පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය විරෝධය පලකර තිබෙනවා.

නමුත් මෙම ගොඩනැගිල්ල ඉපැරණි ගොඩනැගිල්ලක් වුවද 1940 අංක 40 දරණ පුරාවිද්‍යා ආඥා පනත යටතේ අදාළ ගොඩනැගිල්ල ඓතිහාසික ගොඩනැල්ලක් ලෙස නම් කර නොතිබූ නිසා එය කඩා දැමීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධීකාරිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසනවා.

මෙම ගොඩනැගිල්ල පිහිටි ඉඩම ඉන්දියාවේ ටාටා නිවාස සංවර්ධන සමාගමට ලබාදීම සඳහා අදාල ගොඩනැගිල්ල ඉවත් කරන බවටද තොරතුරු වාර්තා වනවා.