හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහි දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීමට, එම නඩුව ඔක්තෝබර් 30 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් දින නියම කර තිබෙනවා.

විත්තිකරු මේ වන විට විදේශගතව සිටින බවට තොරතුරු හෙළි වී තිබෙන නිසා ඔහු නොමැතිව නඩුව විභාගයට ගැනීමට අවසර දෙන ලෙස අල්ලස් කොමිසම ඉල්ලා සිටි අතර, එය සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

2006 වසරේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලන්ඩන් නුවර සංවිධානය කළ ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකට සහභාගි වී, හෝටල් ගාස්තු සහ ප්‍රදර්ශන වියදම් ලෙස රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් භාණ්ඩාගාර රෙගුලාසිවලට පටහැනිව ගෙවන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීම තුළින් අල්ලස් පනතේ ‘දූෂණය’ නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින්, හිටපු අමාත්‍යවරයාට විරුද්ධව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.