පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්. ආර්. කන්සල්ටන්සි නමැති සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල, ලබන ජනවාරි මස 29 වන දින යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම පැමිණිල්ල ඉකුත් යහපාලන රජය සමයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවන ලද අතර, නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, මෙම විමර්ශනයට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.
