පා.ම. පාඨලී චම්පික රණවක

ජාත්‍යන්තර වෙළෙඳාමේ දී සිදුකෙරෙන වැරදි සහ අක්‍රමිකතා මගින් රටට ලැබිය යුතු රේගු ආදායම් අහිමි වීම වළක්වා, එම ආදායම් රටට යළි එකතු කිරීම සඳහා පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග ලබා දී ඇත. එමෙන්ම, වැරදි වෙළෙඳ පටිපාටි වළක්වා ගන්නා ක්‍රමවේද සම්බන්ධයෙන් ද ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සාකච්ඡාවට ලක් කොට අදාළ ක්‍රියාමාර්ග යෝජනා කර ඇත.

ඊට අදාළ වැටලීම් සහ අනෙකුත් ක්‍රියාමාර්ගවලින් පසු එකී වැරදි සඳහා ඒ අනුව, අවම වශයෙන් ආනයන අගයෙන් 100% ක සමාන අගයක් දඩ වශයෙන් අය කරගැනීමට පියවර ගන්නා ලෙස ද, උපදෙස් දුන් අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රේගුව විසින් වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආදායම් කාර්‍ය සාධක බලකා පියවරයන්, තක්සේරු පාලන පියවරයන්, පශ්චාත් නිශ්කාෂණ විගණන පාලන පියවරයන් සහ Cargo සුපරීක්ෂණවල අවදානම් මත පදනම් වූ තේරීම් යනාදී වූ විවිධ ක්‍රියාමාර්ග හරහා රටට අහිමි වන රේගු ආදායම් ගණනය කොට, යෝජිත ආදායම වැඩි කර ගත හැකි බව පෙන්වා දී තිබේ. ඒ අනුව, ඒවා අය කරගැනීම සඳහා වන අධිකරණ සහ අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ක්‍රියාවලියක් කරා ශ්‍රී ලංකා රේගුව යොමු වී තිබේ.

ඒ අනුව, 2022 වසරට සාපේක්ෂව එම අක්‍රමිකතාවලට එරෙහිව ගත් පියවරයන් හේතුවෙන් ලබාගත් රේගු ආදායම තුන් ගුණයකට වඩා ඉහළ ප්‍රමාණයකින් වැඩි කර ගැනීමට හැකියාව තිබෙන බවත්, 2022 වසරේ ලද ආදායම රු. මි. 4877 සිට රු. මි. 15442 දක්වා ඒ අනුව වැඩි කර ගත හැකි බවත්, ඉහත රේගු දත්තයන් අනුව පෙනී යයි.