මෙරට ඩොලර් හිඟයක් නොමැති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඒ බව පැවසූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (25) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රටේ ඩොලර් හිඟයක් මවාපෑමට උත්සාහ කරන්නේ ඩොලර් වෙළෙන්දන් විසින් බවත් මෙරට ජනතාව ඩොලර් හිඟයක් සම්බන්ධව කලබල වීමට අවශ්‍ය නොවන බවත් අමාත්‍යවරයා පවසනවා.

“ගරු මුදල් ඇමතිතුමා කියනවා ඩොලර් හිඟයක් නෑ, ඩොලර් තියෙනවා කියලා. මුදල් ඇමතිතුමානෙ දන්නෙ ඩොලර් ගැන. මේ විපක්ෂෙ ඉන්න අය දන්නෑනෙ ඩොලර් ගැන. අනිත් එක ඩොලර් හිඟයක් මවා පාන්නෙ මේ රටේ ඉන්නවා ඩොලර් විකුණන වෙළෙන්දො ටිකක්, ඒ වෙළෙන්දො තමන්ගෙ ඩොලර් එක වැඩියෙන් විකුණාගන්න හිඟයක් මවාපාන්න එක එක ප්‍රකාශ කරනවා.

නමුත් මුදල් ඇමතිවරයා හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමා අපිත් එක්ක ආණ්ඩු පක්ෂයේ රැස්වීමෙදි කිව්වා ඩොලර් හිඟයක් නෑ, ඩොලර් ගැන මං බලාගන්නම්, ඒ හින්දා කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නෑ කියලා. ඒ හින්දා අපි පිළිගන්නෙ එතුමාගේ ඒ ප්‍රකාශය තමයි”