රටේ එන්නත්කරණය වේගවත් වුවත් වසර 20-30 අතර තරුණ තරුණියන් එන්නත ලබා ගැනීමට දැඩි මැළිකමක් දක්වන්නේ ආණ්ඩුව විසින් කොවිඩ්  වැක්සීනය ගැන විවිධ වැරදි මත පැතිරවීම හේතුවෙන් බවත් තමන්ට මේ මොහොතේ ලෝකෙ හොඳ ම එන්නත ලැබේ යැයි බලාපොරොත්තු නොවන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

වයස අවුරුදු 60ට වැඩි අයගේ කොවිඩ් මරණවලට හා 20-30 අතර තරුණ තරුණියන් එන්නත්කරණයට මැළිකමක් දැක්වීම සම්බන්ධව වගකිව යුත්තේ ආණ්ඩුව බවද ඔහු ‘මව්බිම’ට  සඳහන් කළේය.

විදේශගත වන්නන් හා ඇතැම් ආයතනවලට යාමටත් මන්නාරමට ඉන්දියාව හරහා බෝට්ටුවලින් ඇතැමුන් ලංකාවට පැමිණෙන බැවින් එය වළක්වා ගැනීමට අවශ්‍ය බවත් වැනි කාරණා සිදුවීම හුවා දක්වමින් ෆයිසර් එන්නත ඊට හොඳ ම එන්නත යැයි ආණ්ඩුවේ කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුව හා දේශපාලකයන් කළ ඇතැම් ප්‍රකාශ ඊට බලපා ඇති  බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

එම තර්කවලට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව පවසන ඒ මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් සිනොෆාර්ම්වලට වඩා ෆයිසර් එන්නත වඩාත් හොඳ යැයි තරුණයන් අතර මතයක් ගොඩනගාගෙන ඇති බවත් හොඳ ම එන්නත ලැබෙන තුරු බලා සිටිනවා යැයි සිතීම ප්‍රායෝගික නොවන බවත් ජයතිස්ස මහතා පැවැසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, කොවිඩ් සම්බන්ධ දේශපාලන අධිකාරිය ගන්නා තීන්දු තීරණ සමග මේ මොහොතට අවශ්‍ය ම වසංගත රෝග විශේෂඥයන් පවා කොවිඩ් කමිටුවෙන් ඉවත්වීම රටට විශාල ගැටලුවක් බවයි.