ප්‍රදේශයේ හේන් ගොවිතැනෙහි නිරත ගොවියන්ට පවා කැලයට ඇතුළු වීමට ඉඩ නොදී වන සංරක්ෂණ නිලධාරීන් විසින් දැඩි නීතිරීති පනවා ඇති පසුබිමක් තුළ තිස්සමහාරාමයේ හෝටල් ව්‍යාපාරිකයකු විසින් යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරක කලාපය තුළ කිසිදු බාධාවකින් තොරව වනාන්තරය එළි පෙහෙළි කර කබානා හෝටලයක් ඉදිකරමින් ඇති බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා.

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙම ප්‍රදේශයේ පදිංචි පාරම්පරික හේන් ගොවියන් හේනක් කර ගැනීමට හෝ නිවෙසකට කෝටු කෑල්ලක් කපා ගැනීමට කැලයට ගියත් වන සංරක්ෂණ නිලධාරීන් විසින් ගැමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන පසුබිමක් තුළ යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරක කලාපය තුළ අක්කර 40ක පමණ වනාන්තරය කිසිදු බාධාවකින් තොරව හෙළිපෙහෙළි කර කබානා හෝටලයක් ඉදිකර තිබීම විමතියට කරුණක් බවයි.

අදාළ ව්‍යාපාරිකයා විසින් ඉදිකරන මෙම කබානා හෝටලය ආසන්නයේ විශාල වැව් බැම්මක්ද ඉදිකර වැසි ජලය රඳවා ගැනීමට හැකි වැවක්ද සකසා තිබෙනවා .

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ වන සංරක්ෂණ නිලධාරීන් විවිධ ව්‍යාපාරිකයන්ගෙන් සන්තෝසම් ලබාගෙන මෙලෙස කැලය හෙළි කිරීමට අවස්ථාව ලබාදී ඇති බවත් නැති බැරි අසරණ මිනිසකු කැලයට ගිය පසු ඔවුන්ව අල්ලා අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය.

මෙම ව්‍යාපාරිකයා විසින් අදාළ කබානා හෝටලය ඉදිකිරීම සඳහා වනාන්තරය හෙළිපෙහෙළි කර එහි තිබූ රූස්ස ගස් රැසක්ද කපා දමා තිබෙනවා .

වන අලින්ගේ ආහාරයක් වන කඩකොල්ලන් නමැති ශාක, ගස් මුලින්ම උදුරා දමා ඇති අතර එහි දැව යොදා ගනිමින් කබානා ඉදිකර ඇති අයුරුද දැකිය හැකි බවයි පැවසෙන්නේ .

අපිට කෝටු කෑල්ලක් කපා ගන්න මේ කැලේට යන්න බෑ. අපිව අල්ලලා උසාවි දමනවා. එහෙම තියෙද්දී මේ අක්කර 30ක් 40ක් සුද්ද කරන කම් වන සංරක්ෂණ නිලධාරීන් කොහෙද හිටියේ කියලා දන්නේ නෑ.

මේ හෝටලය ඉදිකරන ව්‍යාපාරිකයා මේ ආසන්නයේ තියෙන සියඹලාගස්වැවට වතුර එන ඇළ හරස් කරලා තමයි වැවක් ඉදි කරලා තියෙන්නේ.

මේ නිසා සියඹලාගස්වැවෙන් කුඹුරු කරන ගොවීන් විශාල ප්‍රමාණයකගේ කුඹුරු අතහැර දැමීමට සිදුව තිබෙනවා.

අපි මේ ගැන කිරින්ද පොලිසියට වන සංරක්ෂණ නිලධාරීන්ට අවස්ථා ගණනකදීම පැමිණිලි කළා. නමුත් වැඩක් වුණේ නෑ. යනුවෙන් ප්‍රදේශවාසියෙක් සඳහන් කර තිබෙනවා