කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සුවධරණී දේශීය ඖෂධ මංජුසාව රටපුරා ගෙයින් ගෙට ගොස් බෙදාහැරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවූ බව දේශීය වෙදකම ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

“විශේෂයෙන්ම කොවිඩ් – 19 වසංගත පාලනය සඳහා දේශීය වෙදකමේ අභිමානය දොරින් දොරට සුවධරණී ඖෂධ මංජුසාව ලබාදීමේ වැඩසටහනට ව්‍යාපෘතියට අතිගරු ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. අපේ රටේ ජනතාව මේ වසංගත රෝග තත්වය හමුවේ ඉතාම සමීපව ප්‍රතිශක්තිකරණ පානයන්, ආහාර අතිරේකයන් වඩවඩාත් උපයෝගී කරගන්න කාල පරිච්ඡේදයක් වෙලා තියෙනවා.

මේ ව්‍යාපෘතිය විශෙෂයෙන්ම රෝග ආසාදිතයින් වඩාත් වෙසෙන ප්‍රදේශ පළමුව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන්නත් රටපුරාම ඖෂධ මංජුසාව ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කරන්නත් දේශීය වෙදකම ප්‍රවර්ධන අමාත්‍යාංශයත් ආයුර්වේද දෙපාර්තමේන්තුවත් කටයුතු කරන් යනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් අනුමත කරන ලද ඖෂධ වර්ග කීපයකින් තමයි මේ මංජුසාව සකස් වෙන්නෙ. අපේ ඖෂධ නිවෙස්වලට ලබාදීම සඳහා අපි කටයුතු කරනවා”

කොවිඩ් වසංගතය ආරම්භ වූ අවධියේදී ඔබතුමා විශේෂයෙන්ම සහ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය කිසිදු විද්‍යාත්මක ප්‍රවේශයකින් තොරව දේශීය ඖෂධ ජනගත කිරීමට උත්සාහ ගත්තා. විද්‍යාත්මක ප්‍රවේශයකින් ගියා නම් මීට වඩා යමක් අපට කරන්න තිබුණා?

“මං හිතනවා සමහර තීන්දු තීරණ අපි ඉතාම සද්භාවයෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් ලබාගත්ත ඒවා. ඒවායින් කිසිසේත්ම කිසිම කෙනෙක් මේ රටේ මියගිහිල්ලා නෑ. සංකූලතා ඇතිවෙලා නෑ. ඉතිං දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ඇමතිවරයෙක් විදියට, අමාත්‍යාංශය විදියට අපට යම් යම් අත්හදාබැලීම් කරා යන්න වෙනවා. මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක අපි ඒ දේවල් කරලා නෑ. විශේෂයෙන්ම අපේ රටේ ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කරන ලද ඖෂධ වලට අපි දැන් ප්‍රමුඛතාවය ලබාදෙමින් කටයුතු කරන්නෙ”

අමාත්‍ය සිසිර ජයකොඩි මේ බව පැවසුවේ ඊයේ (31) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.