භාණ්ඩ මිල පාලනයට හදිසි නීති පැනවීමෙන් ජනතාවට ”කිසිදු සෙතක් සිදුව නැති බවත්” සීනි මිල සම්බන්ධයෙන් සිදුව ඇත්තේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට තවදුරටත් ලාභ ලැබීමට අවස්ථාවක් හිමිවීමක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි. 

මේ වන විට සීනි මිල සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් රු. කෝටි 6,000ක් ඉක්මවා ලාභ ලබා ඇති බවත් ආණ්ඩුවට හිමිව ඇති බදු පාඩුව පමණක් රු. කෝටි 3500ක් පමණ වන බවත් ඔහු පෙන්වා දුන්නේය. 

ඊයේ (සැප්. 2) රාත්‍රියේදී සීනි මිල සංශෝධිත අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා නැවත වරක් පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට එලෙස අධික ලාභයක් හිමිකර දීමක් සිදුව ඇති බව ඔහු මෙලෙස අවධාරණය කළේ, අද (සැප්.3) වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. 

“හදිසි නීති රෙගුලාසි පැනෙව්වා කියලා ජනතාවට මේකෙන් වෙච්ච සෙතක් නෑ. ඒකෙන් වුණු ප්‍රතිඵලය කලින් තිබුණු ගැසට් එක රු. 85යි සීනි කිලෝ එකක් විකුණන්න පුළුවන් උපරිම සිල්ලර මිල, දැන් ඊයේ රාත්‍රියේ ගහපු ගැසට් එක උපරිම සීනි කිලෝ එකක මිල රු. 122යි. දැන් ඒක නීතිගත කරා. ඒ කියන්නේ මේ ගැසට් දෙකෙන් සීනි කිලෝ 1ක් රු. 37කින් වැඩි කරලා තියෙනවා. තොග කිලෝ 1 රු.80ට තිබ්බා. ඊයේ රාත්‍රී ගැසට් එකෙන් තොග විකුණන්න පුළුවන් කිලෝ 1 රු. 116ට. පුද්ගලික ව්‍යාපාරිකයන්ට රු. 36ක ලාභයක් මේ ගැසට් වෙනසෙන් විතරක් එනවා. එහෙම ගත්තොත් ව්‍යාපාරිකයෝ මේක රු. 240ට 250ට විකුණලා රු. එකසිය ගාණක් ලාභ ලබලා තියෙනවා. එහෙම ගණන් හදලා බැලුවොත් ව්‍යාපාරිකයෝ මේ කාලය තුළ උපයාගත් ලාභය කෝටි 6,000ත් ඉක්මවා යනවා. බදු පාඩුව විතරක් රු. කෝටි 3500ක් වෙනවා.”

පසුගිය වසරේ පටන් මෙරට සීනි මිල පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග සහ ඒවා හේතුවෙන් ජනතාව පත් අපහසුතා පිළිබඳව අවධාරණය කරමින් මෙලෙස පැහැදිලි කිරිමක් කළේය.

“පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 13 වන දා ආණ්ඩුව සීනිවලට තියන බද්ද රු. 50 ඉඳලා සත 25 දක්වා අඩු කරනු ලැබුවා. ආනයනික සීනි කිලෝ 1ක් සඳහා එතෙක් තිබුණු රු.50 බද්ද සත 25 දක්වා අඩුකළා. රු. 50ක බද්ද ගැහුවෙත් මේ ආණුඩුව ම තමයි. ඒ බද්ද ගහන වෙලාවේ ආණ්ඩුව කිව්වෙ දේශීය සීනි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ආනයන සීමා කිරීම සඳහා තමයි මේ රු .50 බද්ද ගහන්නේ කියලා. දේශීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා දේශීය නිෂ්පාදනය වැඩි කරන්න තමයි මේ රු. 50 බද්ද ගහන්නේ කියලා. 

නමුත් එකවර ම හිටපු ගමන් මාසයක් යන්න කලින් ඒ වැඩිකරපු රු.50 බද්ද සත 25ට අඩු කරා. ඒ වෙනකොටත් ලංකාවට ආනයනය කරලා තිබුණු මෙ.ටො. 90,000ට ආසන්න සීනි ප්‍රමාණයකට ඒ සත 25 බද්ද තමා පැනවුණේ. ඒ නිසා අසීමිත ලාභයක් සීනි ආනයනකරුවන් ලබාගනු ලැබුවා. පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා. මුදල් අමාත්‍යංශය මේ සීනි ආනයනයෙන් වෙච්ච බදු පාඩුව පිළිබඳ ගණනය කිරීමක් කරලා තිබුණා. වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ලංකාවට ඒ වෙනකොට වැඩිපුර ම සීනි ආනයනය කරලා තිබුණේ විල්මා ට්‍රේඩින්ග් සමාගම නොහොත් සජාත් මවුසවි හාජියාර්ගේ මේ සමාගම. ජනාධිපතිවරයාගේ ගජ මිතුරෙක්ව හිටපු සජාත් මවුසවි හාජියාර් ඒ සමාගමෙන් තමයි එදා සීනි වැඩිපුර ම ගෙන්නලා තිබුණේ.”

ඔහු සඳහන් කළේ, පසුගිය වසරේ සිට ක්‍රමයෙන් සිදු කරනු ලැබූ සීනි මත පනවනු ලබන බදු මුදුල් අඩු කිරීම හරහා රජයට වූ පාඩුවේ වාසියත් පෞද්ගලික අංශයේ සමාගම් කිහිපයක් අත්පත් කර ගත් බවත් පාරිභෝගිකයාට සුළු හෝ වාසියක් අත්නොවුණු බවත්ය.

“සත 25ට බදු අඩු කරාට පස්සේ ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා ඒ මාස 4ක කාල සීමාව තුළ රජයට බදුවලින් විතරක් වුණු පාඩුව විතරක් රු. කෝටි 1595ක් කියලා ගණනය කළා. ඒ බදු අහිමි කරගෙන අඩු ම ගාණේ ඒකෙ වාසිය පාරිභෝගියන්ට ලැබුණෙත් නෑ. ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා සීනි විකිණිය හැකි උපරිම සිල්ලර මිල රු. 85යි කියලා. ඒ අනුව පාරිභෝගික අධිකාරිය ගැසට් එකක් ගැහුවා සීනි විකුණන්න පුළුවන් උපරිම සිලල්ර මිල රු. 85යි කියලා. නමුත් වෙළඳපොළේ කොහෙවත් රු. 85ට සීනි තිබුණෙ නෑ. සමූපකාර සතොසෙවත් රු. 85ට සීනි මිලදීගන්න තත්ත්වයක් තිබුණේ නෑ. ඒකෙන් අසීමිත ලාභ ලැබු⁣වේ මේ සමාගම්.” 

ලෝක වෙළෙඳපොලේ සීනි මිල ඉහළ ගොස් නැති අවස්ථාවක පවා එහි වාසිය ආණ්ඩුව ජනතාවට හිමි කර නොදුන් බවත් මේ වන විටත් සීනි කිලෝවක් රු. 85ට ලබාදිය හැකිව පවතිද්දී පවා එසේ නොකර “ආණ්ඩුව සංදර්ශන පාමින් සිටින බවත්” ඔහු පැවසීය.

“මේ මුදල් අමාත්‍යංශයේ වාර්තාව නිකුත් කරන කොට විශ්ලේෂණයක් කළා. මේකෙන් වෙන්න පුළුවන් අනතුර පිළිබඳව කල් ඇතිව දැකලා තිබුණා. එහෙම තියෙද්දිත් පුද්ගලයික අංශයේ ව්‍යාපාරිතයන්ට සීනි ගෙන්නන්න ඉඩ දුන්නා. අදත් තියෙන්නේ ඒ අඩුකරපු සත 25 බද්ද. ව්‍යාපාරිකයෝ තොග පිටින් සීනි ආනයනය කළා. ලෝක වෙළඳපොලේ සීනි මිල අසීමිත ලෙස වැඩිවුණේ නෑ. පහුගිය කාලේ උපරිම ඩොලර් සත 39ට නැගලා තිබ්බේ. ආසන්න වශයෙන් ආනයන සීනි කිලෝවකට යන වියදම රු. 79යි. අනෙකුත් බදු වර්ගත් එකතු කරලා වෙළඳපොළට එනකොට රු.85ට දෙන්න පුළුවන්. අදත් සීනි කිලෝවක් ඒ මිලට පාරිභෝගිකයන්ට දෙන්න පුළුවන්කම තියෙනවා. ලෝක වෙළඳපොළේ ලොකු වෙනසක් වෙලා නෑ. එහෙම තියෙද්දී තමයි ආණ්ඩුව මේ සංදර්ශන පාන්නේ.”

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සීනි ආනයනය කරන ප්‍රධාන සමාගම් 12ත් සමග ගිවිසුම් අත්සන් කර සීනි මිල වැඩි නොකරන බවට එම සමාගම් සමග එකඟතාවකට පැමිණි බවත් එසේ සිදු කර තිබියදීත් “ජනතාව රවට්ටා ඉබාගාතේ සීනි මිල වැඩිවන්නට ඉඩදුන් බව” ඔහු අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, ආණ්ඩුව මැදිහත්ව සීනි ආනයනය නොකර එම වගකීම පැහැරහැරි බවත් පසුව පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට චෝදනා කරමින් “ආණ්ඩුව ඇඟ බේරාගන්නා උත්සාහයක් දරන බවත්” ය.