සිය වසක කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ වාණිජ ව්‍යාපාර ක්ෂේත්රයේත් පසුව සන්නිවේදන ක්ෂේත්රයේත් වැඩි ම බලපෑම් සහගත පුද්ගලයා වූ ආර්. රාජමහේන්ද්‍රන් මහතා ඊයේ (ජූලි 25දා) අභාවප්‍රාප්ත විය.
දේශපාලන, මාධ්‍ය සහ වාණිජ ලෝකය ඔහු හඳුන්වන ලද්දේ මහරාජා හැටියටය. සිරස මාධ්‍ය ජාලයේ අධිපති මහරාජා කියූ පමණින් සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව මේ දැවැන්ත චරිතය හැඳින සිටියහ.
රාජමහේන්ද්‍රන් මහතා මියයන විට 78 හැවිරිදි වියේ පසුවිය. ඔහු උපත ලද්දේ 1943 වසරේ මැයි 19 දිනය. ගෙවුණු වසර 60ක කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ වාණිජ ක්ෂේත්රයන්හි මෙන් ම දශක තුනක කාලයක් සන්නිවේදන ක්ෂේත්රයේ ද විප්ලවීය පෙරගමන්කරුවා වූයේ රාජමහේන්ද්‍රන්ය. අසල්වැසි ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත පීඩිත ගොවි ජනයා මත බලය පැතිර වූ මහරාජාවරුන් මෙන් නොව ජනතාව සමග සිටගත්, ඔවුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් පෙනී සිටි මහරාජා කෙනෙක් මේ විස්මිත මිනිසා තුළ වූයේය.
කැපිටල් මහරාජා සමූහයේ අතීතය යටත්විජිත පාලන සමය දක්වා ඈතට දිවයන්නේය. 1930දී යාපනයේ මුලායිහි සුබ්‍රමනියම් මහාදේවන් සහ කොකුවිල්හි සින්නතම්බි රාජේන්ද්‍රන් යන මිතුරන් දෙදෙනකු රැකියාවල් සොයා කොළඹට පැමිණ එල්.ඩී. සේමූර් හා ඩොජ් ඇන්ඩ් සීමෝර් නමැති ඇමරිකානු සමාගම් දෙකක රැකියා ලබාගත්හ. 1939දී දෙවන ලෝක යුද්ධ සමය එළැඹි විට යට කී සමාගම්වල හිමිකරුවෝ යළි සිය රට බලා පිටත් වූයේ අභිලාෂකාමී තරුණයන් දෙදෙනාට සමාගම්වල කොටස් විකුණා දැමීමෙන් පසුය. එය ශ්‍රී ලංකාවේ වාර්තා වූ ප්‍රථම කළමනාකරණ කොටස් මිලදී ගැනීම වන්නේය.
‘එල්.ඩී. සේමුර් සමාගම, මහදේවන් ලිමිටඩ්’ නමින් නම වෙනස් කළ අතර ඔවුන් යුනියන් කාබයිට් සහ එවරෙඩි බැටරි නිෂ්පාදනය ආරම්භ කළේය. ඩොජ් සහ සීමෝර් සමාගම රාජේන්ද්රවාස් ලිමිටඩ් යනුවෙන් නම වෙනස් කළේය. ඔවුන් පාකර් පෑන්, ක්වින්ක් තීන්ත, කෝල්ගේට් චැම්පියන් ප්ලග්, තර්මෝස් ප්ලාස්ක් දේශීය නියෝජිතයෝ වූහ.
මහරාජා ඩිස්ට්‍රිබියුටර්ස් (ICL) මහාදේවන් ලිමිටඩ්හි අනුබද්ධ සමාගමක් ලෙස 1940දී ආරම්භ විය. ඔවුන් වෙළෙඳ භාණ්ඩ රැසක දේශීය නියෝජිතයෝ වූහ. මහාදේවන් 1957දී අභාවයට පත්වන විට ඔහුට දරුවන් සිටියේ නැත. එස්. රාජේන්ද්‍රන් සමාගම් දෙකේ ම හිමිකරුවා විය.
එස්. රාජේන්ද්‍රන් 1957දී ලංකාවට ප්‍රථමවරට PVC ජලනළ භාවිතය හඳුන්වා දුන්නේය. 1958දී ලංකාවේ පළමු එස්-ලෝන් නළ කර්මාන්ත ශාලාව සහ පාකර් ක්වින්ක් තීන්ත කර්මාන්ත ශාලාව ආරම්භ කළේ, රාජේන්ද්‍රන් විසිනි. 1962දී ICL රූපලාවණ්‍ය නිෂ්පාදන ද 1963දී නිය ආලේපන, ලිප්ස්ටික් සහ පෝලන්ත නේල් පොලිෂ් කර්මාන්ත ආරම්භ කළේය. 1964දී ‘ඔරෆෝම් ෆෝහාන්ස්’ – Orafoam Forhans දන්තාලේප නිපදවීම ආරම්භ කළේය.
මහරාජා සමාගම් සමූහයේ නිර්මාතෘ සින්නතම්බි රාජේන්ද්‍රන් 1966දී අභාවප්‍රාප්ත වූයේය. රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් හෙවත් ඔහුගේ පුත්‍රයා එම සමූහයේ හිමිකරුවා වූයේ එතැන් සිටය. මහාදේවන්ස් ලිමිටඩ්, රාජේන්ද්රම්ස් ලිමිටඩ් සහ මහරාජා ඩිස්ට්‍රිබියුටර්ස් ආයතන තුන ඒකාබද්ධ කොට 1966 අප්‍රේල් 1දා මහරාජා සංවිධානය පිහිටුවන ලදී.
එතැන් පටන් මහරාජා සංවිධානයේ නැගීම තවත් වේගවත් වූයේය. අමුද්‍රව්‍ය අපනයනය, ගෘහභාණ්ඩ අපනයනය මෙන් ම ලංකාවේ ප්රමුඛ මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් වූයේ ද මහරාජා සංවිධානයයි. 1970දී ඇලර්ටන් තේ වතු සමාගම ද ඔවුන් සතු විය. සීනි හිඟය ඇති වූ විට ඔවුන් උක්හකුරු නිෂ්පාදනය ආරම්භ කළහ.
රෙනෝල්ට්, කැගීවා සහ ලැන්ෂිය යතුරුපැදි ආනයනය ද මහරාජා ආරම්භ කළේය. 1977දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් මහ කොළඹ ආර්ථික කොමිසම ආරම්භ කළ අතර එහි ප්‍රථම ආයෝජන ව්‍යාපෘතිය වූ ප්‍රීමා තිරිඟු පිටි කම්හල ත්‍රිකුණාමලේ ආරම්භ කරන ලද්දේ ද මහරාජා සංවිධානය විසිනි.
කැපිටල් මහරාජා සමූහය තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට අත ගසන්නේ 1978දී IMB 36 පරිගණක පද්ධතියක් ස්ථාපනය කිරීමෙනි. අභාවප්‍රාප්ත රාජමහේන්ද්‍රන් මහතාගේ දැක්ම සෑම විට ම වර්තමානයට ගව් ගණනක් ඉදිරියේ ස්ථානගතව තිබුණේය. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ අවකාශයන් දුර තියා දුටු ඔහු ඉන්දියාවේ ෆොරෙක්ස් (DSP) සමග හවුල් වී තැරැව්කාර සමාගමක් ආරම්භ කළේය.
හෙට්ටිආරච්චි සමාගම අත්පත් කර ගනිමින් 1978දී TMOL රබර් නිෂ්පාදන ව්‍යාපාරයට ද අවතීර්ණ වූයේය. ඒ වනවිට මහරාජා සමූහය අති විශාල කර්මාන්ත ශාලා ගණනාවක හිමිකරුවෝ වූහ. 1983 කුප්‍රකට කළු ජූලියේ ජාතිවාදී ගින්න බොහෝ ව්‍යාපාර දවා අළු කළේය. ඒ මහා සංහාරයෙන් බේරුණේ මහරාජා සංවිධානයේ ව්‍යාපාර සහ ගොඩනැගිලි දෙකක් පමණි. ඒ.එෆ්. ජෝන්ස් සහ මහරාජා ඉන්වෙස්ට්මන්ට් ඒ ව්‍යාපාර දෙකය. 1983 ජූලි 27 දින කළු ජූලියේ දුම්රොටු තවමත් කොළඹ අහසේ පාවෙමින් තිබියදී ඩෝසන් වීදියේ AF Johns ගොඩනැගිල්ලට සිය අධ්යක්ෂ මණ්ඩලය කැඳවාගත් රාජමහේන්ද්‍රන් මහතා අළු ගසා දමා නැඟිටින්නට තීරණ ගත්තේය.
ඩෝසන් වීදියේ වර්තමාන මූලස්ථානය ආරම්භ කෙරෙන විට කළු ජූලිය අමතක කොට වැඩ ආරම්භ කරන්නට අවශ්‍ය උත්තේජනය රාජමහේන්ද්‍රන් විසින් සෑම තරාතිරමකම සේවකයන් වෙත ලබා දුන්නේය. 1985 මැයි වනවිට සියල්ල යථාවත් කරන්නට ඔහු සමත්විය. 1985දී ම නවසීලන්ත කිරි මණ්ඩලය සමග හවුල් වී ඇන්කර් කිරිපිටි දේශීය වෙළෙඳපොළට හඳුන්වා දුන් අතර එය එවකට ලොව විශාලතම තනි වෙළෙඳපොළ විය. එම වසරේදී TMOL ටෆ්ලයින් ඇසුරුම් සමාගමද ආරම්භ කළේය. හැරියන්ස් සහ කේරාස්පීල්ඩ් ව්‍යාපාර සමූහය 1989 මිලදී ගැනීමත් සමග දේශීය තේ නිෂ්පාදනයට සහ වෙළෙඳාමට මහරාජා මැදිහත් විය.
කැපිටල් මහරාජා සංවිධානය සන්නිවේදන ක්ෂේත්රයට පිවිසෙන්නේ 1991දී MTV චැනල් පිහිටුවීම සඳහා සිංගප්පූරු ටෙලිකොම් සමග හවුල් වීමෙනි. නව සමාගම TMOL නමින් හැඳින්විණි. ඔවුන් රාජකීය ජෝර්දාන් ගුවන් සේවය සමඟ ඒකාබද්ධව වයඹ දිග ගුවන් සේවාව සහ භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කළේය. ඉන්දියාවේ විශාලතම වෙළෙඳ ප්‍රසාරණ ආයතනය වූ රෙඩිෆියුෂන් ටී.එම්.ඩී.එල්. සමග හවුල් වී කොළඹ සිය කාර්යාලය විවෘත කරන ලද්දේ 1991 වර්ෂයේය.
1993දී MBC NET Work, FM රේඩියෝ නාලිකාව ආරම්භ කරන ලදී. 1994දී මැලේසියාවේ ටෙලිකොම් සහ ටී.එම්.ඕ.එල්. අතර ඒකාබද්ධ වී ශ්‍රී ලංකාවේ ඩයලොග් මෙහෙයුම් ආරම්භ කළ අතර ඇමෙරිකාවට ද ප්‍රථම ලංකාවට GDM තාක්ෂණය හඳුන්වා දෙන ලදී. ටී.එම්.ඕ.එල්.හි සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ ලෙස 2001 වර්ෂයේදී රාජමහේන්ද්‍රන් පත්විය. එතැන් සිට ඔවුන් මෙරට මාධ්‍ය ක්ෂේත්රය විප්ලවීය හැරවුම් ලක්ෂයකට යොමු කළේය. එය පිටුපස සිටි අති දැවැන්ත සෙවණැල්ල වූයේ රාජමහේන්ද්‍රන්ය.
MBC නෙට්වර්ක් සමාගම සහ MTV චැනල් (පුද්.) සමාගම මහරාජා සමූහයේ මාධ්‍ය අංශයේ අනුබද්ධ සමාගම් වේ. ගුවන්විදුලි විකාශනය සඳහා කැපවූ මාධ්‍ය සමාගමක් වන MBC නෙට් වර්ක් (පුද්.) සමාගමට ගුවන්විදුලි මධ්‍යස්ථාන 5ක් තිබේ. සිරස FM, ශක්ති FM, වයි FM, ලෙජන්ඩ් FM ඔවුන් සතුව රූපවාහිනි නාලිකා 3ක් ඇත. සිරස, ශක්ති සහ TV 1 ඒවා වේ. ඉන් අනතුරුව පසුගිය වර්ෂවල මහරාජා සංවිධානයට එක්වූ තවත් සමාගම් රාශියකි. ඒ හැම සමාගමක් තියුණු පාලන ව්‍යුහයකින් මෙහෙයවනු ලබන සාර්ථක ව්‍යාපාර වන්නේය.
අභාවප්‍රාප්ත රාජමහේන්ද්‍රන්ගේ දැවැන්ත ප්‍රතිරූපය මෙරට සන්නිවේදන ක්ෂේත්රය තුළ පිළිබිඹු වන්නේ සිරස මාධ්‍ය ආයතනය තුළිනි.සිරස ජනතාවගේ නාලිකාව විය. එය හඬක් නැති ජනයාගේ හඬ බවට පත්විය. ‘අමතක කරන ලද ජනතාව’ සඳහා ගම්මැද්ද නමින් බිහිකළ සංකල්පයේ නිර්මාතෘ රාජමහේන්ද්‍රන්ය. අද දිවයිනේ අති දුෂ්කර ගම් නියම් ගම්වල ජනයා, පාසල් දරුවෝ ගම්මැද්ද පදනම තුළ සංවිධාන ගතව සිටිති. ගම්මැද්ද දුප්පතුන්ගේ ප්‍රශ්න හඹා යන සංවර්ධනයේ පෙර ගමන්කරුවා බවට පත්ව සිටින්නේ රාජ්‍ය ආයතන උදාසීනව, උකටලීව පසුබා සිටින තත්ත්වයකය.
බහු ජනයාගේ ගැටලු හා දුගී භාවය ගැන සංවේදී වන හදවතක් රාජමහේන්ද්‍රන් නමැති යහපත් මිනිසාට තිබිණි. 2004 සුනාමි ව්‍යසනය ඔහු වඩාත්ම කම්පා වූ අවස්ථාව ලෙස සමීපතමයෝ පවසති. සුනාමියට පසුදින මාධ්‍ය ආයතනය වෙත පැමිණි. ඔහු කාර්ය මණ්ඩලයට දැන්වූයේ,
‘අපි අපේ සියලු වැඩසටහන් නවතා දමා ජනතාවගේ සුබ සාධනයට කැපවෙමු.’ කියාය. ‘සිරස සහන යාත්‍රා’ වැඩසටහන ආරම්භ වූයේ එදිනය. සිරස සමීපතමයෝ පැවසුවේ සුනාමියෙන් විපතට පත් ජනයාගේ දුක නිවන තුරු සභාපතිතුමාගේ නෙතග කඳුළු වියැළුණේ නැති බවය.
මාධ්‍ය ක්ෂේත්රයේ ඉතා තියුණු ඇසක් ඇතිව හෙතෙම කැපවී ක්‍රියා කළේය. ජනතාවගේ හඬට, පොදු ජන අරගලයට කැමරාව යොමු කිරීමට ඔහු බිය නොවීය. අතනින් කැපේය, මෙතනින් කැපේය යන බිය රාජමහේන්ද්‍රන් තුළ නොවීය. ආණ්ඩු හැරෙන හැරෙන පැත්තට මැස්ස ගැසීමේ මාධ්‍ය කලාව ඔහු ප්‍රතික්ෂේප කළේය.
ජන දිවි පෙවෙත තුළ හංගන්නට දෙයක් තිබිය යුතු නැත යන්න ඔහුගේ විශ්වාසය විය. ඇතැම් ආණ්ඩුවලට සිරස වහකදුරු විය. සිරසට ක්ලේමෝ බෝම්බ සවිකොට පුපුරුවා හළේය. දේශපාලකයෝ මැරයන් සමග පැමිණ සිරසට ගල් ගැසූහ. රාජමහේන්ද්‍රන් යටත් නොවීය. සිනාසුණා පමණි. එතැන් පටන් සිරසේ හඬ තිබුණාට ද වඩා වැඩිවිය. ගල් ගැසූ දේශපාලකයා පසු කලෙක බිත්ති අල්ලමින් සිරසට බඩ ගෑවේය.
රාජමහේන්ද්‍රන් මාධ්‍යවේදීන් මෙන් ම දේශපාලකයන් ද නිර්මාණය කළේය. මාධ්‍යවේදීන් නොබියව අදහස් පළ කරන්නට කියා වගකීම තමා ගත්තේය. ගැටුමක් පවතින තැන ඔහු පෞද්ගලිකව ම පෙනී සිටියේය. ඔහුට අවශ්‍ය වූයේ පිටකොන්ද ඇතිව අදීනව හැසිරෙන මාධ්‍යවේදීන්ය.
ඔහු වියපත්ව සිටිය ද අලුයම 4.30 සිට රාත්‍රි 11.00 පමණ වනතුරු නොනැවතී එක දිගට වැඩ කළේය. රාජමහේන්ද්‍රන් මහතා තරම් යාවත්කාලීන වූ මාධ්‍යකරුවෙකු දැක නැති බව බොහෝ දෙනා පවසති. ඔහුගේ විෂය දැනුමේ පරාසය අතිශය පුළුල්ය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය නැංවීමට හෙතෙම බොහෝ වෙහෙස විය. සිනමාවේ සහ සාහිත්‍යයේ අක්මුල් ගැන ඔහු ගැඹුරු වැටහීමක සිටියේය.
ගුවන්විදුලියේ, රූපවාහිනියේ ස්ටුඩියෝ තුළ සිරවූ මයික්‍රෆෝනය හා කැමරාව කඳුළු ගෑස් විදින තැන, බැටන් පාර වදින තැන, දුම්රොටු අතරට ගෙනයාම හුරු කළේ මේ මිනිසාය. ඒ නිසා ම බොහෝ අවස්ථාවල කාකි කබා ගැලවුණු සැටි අපි දුටුවෙමු.
බොහෝ දෙනා නොදන්නා තවත් කරුණක් තිබේ. ඔහුගේ පෞද්ගලික කලා නිර්මාණ එකතුව අති විශාලය. ලෝක ප්‍රකට කලා නිර්මාණ රැසක් ඔහු සතුව තිබේ. ඔහු පරිශීලනය කළ පුස්තකාලය ද වටිනාකම අනූන ග්රන්ථ එකතුවකි. ගම්මැද්දේ පොඩි මිනිසුන් වෙනුවෙන් කැපවුණු ඔහු ඔවුන්ගෙන් කිසිවකුට හෝ නොකියා නොපවසා රහසේම ඔවුන්ගෙන් සමුගෙන තිබේ. රාජමහේන්ද්‍රන්ගේ අභාවය මාධ්‍ය ක්ෂේත්රයේ ප්රබලයෙකු වෙනුවෙන් ඔහු නොදුටු නන්නාඳුනන මිනිසුන් ද කඳුළු හලන අවස්ථාවක් වීම මෙරට ඉතා දුලබ අවස්ථාවකි.
ඔවුන් ඔහු නොදුටුවේ රාජමහේන්ද්‍රන් කිසිසේත් ම ජනප්‍රියත්වය අපේක්ෂා නොකළ නිහතමානී සරල මිනිසෙකු වීම නිසාය. එයම ඔහුගේ අගය වඩ වඩාත් දැනෙන්නට හේතුවිය. ඔහු ගත් මඟ අභීතව පෙරට යන්නට ඔහු විසින් තැනූ මිනිසුන් සමත් වේ යැයි අපි සිතමු. මෙරට විද්‍යුත් මාධ්‍ය වංශකතාවේ විප්ලවීය පෙරගමන්කරු රාජමහේන්ද්‍රන් මහතාගේ හදිසි අභාවයෙන් ශෝක වන්නන් අතර අපද වෙමු.
– උපුටා ගැනීම මව්බිම පුවත්පත