2012ට වඩා 2021 වෙනස්ය. අතර කාලය වසර නවයකි. කතා කළ යුත්තේ අලුත් පරම්පරාවකටය. අලුත් ආකාරයකටය. එකතැන පල්වූ අරටු බැස්ස නායකයන්ට මේ අභියෝගයට මුහුණ දිය හැකිද? ප්‍රශ්නය අභියෝගය වන්නේ එයයි.

පසුගිය ජූලි 17 වෙනි සෙනසුරාදා සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය, විපක්‍ෂ කණ්ඩායම් සමග එක් මේසයකදී හමුවිය. එදින විද්යුත් මාධ්‍ය නාලිකාවන්ට එය තවත් සිද්ධියක් පමණක් විය. හේතුව රටේ වර්තමානයේ ප්‍රමුඛතාව තෝරාගත නොහැකි වීමය. හැම දිනකම, සංඛ්‍යාවෙන් ඉහළ යන, කොවිඩ් මරණ, වසංගතයට ගොදුරුවූ රෝගීන් ප්‍රමාණය, වන අලි පහරදීම් සහ මරණ, පොහොර හිඟයෙන් පාථ වූ ගොවිබිම්වලට රැස්ව ආණ්ඩුවට සාප කරන ජනතාව ආදි බොහෝ අනුවේදනීය සිද්ධි වාර්තා වේ. 43 කණ්ඩායම වෙනුවෙන් කතා කළ පාඨලී චම්පික එහිදී කීවේ, ආණ්ඩුවට පමණක් නොව, විපක්‍ෂයට පවා ජනතාව දොස් නගන බවය. පාඨලී නම් පවත්නා තත්වය නිවැරදිව තේරුම් ගෙන ඇත. එහි විලෝමය විපක්‍ෂ කාර්යභාරය අසාර්ථක බවය. සාධාරණ සමාජයක් කරා ව්‍යාපාරය මූලිකවූ මේ පෙළගැස්ම කොතරම් ප්‍රබලවීද යත් ජනාධිපති ගෝඨාභයට තමන් ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා බව කියන්නට සිදුවිය. අනෙක් හාස්‍යජනක ප්‍රතික්‍රියාව, රනිල්-මංගල දෙදෙනාත් තවත් බලවේගයක් සැලසුම් කරන බවය. අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා, අධිකරණයට භාර දෙන තෙක් රනිල් වෙන කිසිදු ව්‍යාපාරයකට සුදුසු විය හැකිද? එසේ කියන්නේ බැඳුම්කර නඩුවේ එක් විත්තිකරුවෙකු රනිල්ගේ කැබිනට් සගයෙකු නිසාය. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු නම් කිරීම සිරිසේන කළ යුතුවේ. එසේ කියන්නේ ජනාධිපති වාර්තාවේ නිර්දේශ අනුවය.

රටම බිඳ වැටී ගම්දනව් මළ ගෙයක්වී ඇති මේ නිමේෂයෙහි විපක්‍ෂයේ වගවීම බිංදුවය. ආණ්ඩු විරෝධයට රාජපක්‍ෂලා වසංගතයට මුවා වී මුහුණ දෙති. සිවිල් පාලනය සිරකොට, ජනාධිපති ගෝඨාභය යාමට සැලසුම් කළ ගමනට ආණ්ඩුවේ බහුතරයත් විරුද්ධය. බැසිල් පැමිණීමෙන් පෑ හැකි අමුතු ප්‍රාතිහාර්යයක් නැත. බැසිල් පැමිණියේ ආණ්ඩුවේ අසාර්ථකත්වය තදින් දැනුණ නිසාය. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර ලවා පොලිස් මර්දනය ගැන සරත් වීරසේකරට යම් ප්‍රමාණයක තරවටුවක් කරවීය. සාගර කාරියවසම් ලවා දල්වා විසි කළ ගුණ්ඩුව ගෝඨාභයට මිස, ගම්මන්පිල එල්ල කළ එකක් නොවේ. මේ නිරූපණය වෙන්නේ ආණ්ඩුවේ බෙදිල්ල සහ කැළඹීම මිස නව ආර්ථීක ක්‍රමෝපායන් නොවේ. රාජපක්‍ෂලාට ඉවසිය නොහැකි මේ දේශපාලන බඩරිදිල්ල 2014ට පෙර නම් අයියා මලෝ එකතුව දරා ගත්හ. වර්තමානයේ රාජපක්‍ෂ පැටවුන් මේ බඩේ ගායෙන් නගන කෙඳිරියට උන්ගේ අම්මලාත් ගෝරි අදිනු පෙනේ. වැලේ වැල් නැතිව සිටි ආණ්ඩුව සිටින්නේ ජනාධිපති සටන ගැන නොව, සැඟවී පණ බේරා ගන්නා නිමේෂයකය. ඊළඟ පාරත් එන්නේ මම යනුවෙන් ගිය සඳුදා ගෝඨා කීවේ රාජපක්‍ෂ පැටවුන්ට ඇහෙන්නටය. සරත් වීරසේකර වැනි පිස්සන්ගේ රංගනය හරහා වැටෙන අඹ කොට්ට ලේන් කොට්ට අහුලා ගැනීමට තම සරම් කඩමලු අල්ලන තරමටවත් විපක්‍ෂය ශක්තිමත් නැත. ආණ්ඩුවේ අනාගැනිල්ල නිවැරදිව තේරුම් නොගෙන විශ්වාසය භංගය හරහා විපක්‍ෂය කළ සරම ඇල්ලීම හරහා ආණ්ඩුව තම අර්බුදය තුනෙන් දෙකෙන් වසා ගත්තේය. කුඩා අවධියේ කුඩා එවුන් මුහුණ දුන් ආකාරයට විපක්‍ෂයේත් සරම් කැඩී බිම හැළිණ. මේ කරන්නේ විහිථවක් නොවේ. රට වැටෙන ප්‍රමාණය, රටේ ප්‍රශ්න ගොඩගැසෙන ප්‍රමාණය උකහා ගැනීමට, කළමනාකරණය කිරීමට තැන තැන විසිරී සිටින වර්තමාන විපක්‍ෂයට අසමත් බව සිහි කිරීමය. සාධාරණ සමාජයක් පෙළ ගැසෙන්නේ ඒ නිමේෂයෙහිය. ඊට එරෙහිව රනිල්-මංගලගේ කස්තිරම කරන්නේද රාජපක්‍ෂලා බවට ප්‍රාදේශීය සභ පෙරළි සාක්ෂි දරයි. සජිත්ලා විශ්වාසභංගය හරහා ආණ්ඩුව කොඩිය ඉස්සූ බව මරික්කාර්ලා නොදනිති. බැසිල්ගේ සැලැස්ම පළාත් සභා ඡන්දය දිනා ජනතාව තමන් සමග බවත් ජාත්‍යන්තර ප්‍රජාවට දැන්වීමට සහ බෙදුණ විපක්‍ෂයේ වාසිය ගෙන රනිල් වික්‍රමසිංහ 2024 පොදු අපේක්‍ෂකයා කිරීමටය.


එක දිගට, රනිල් කළ ජනතාවාදී වැඩ ඉහළින් තක්සේරු වන මොහොතක, රනිල් උස්සා තැබීමට බැසිල්ට පිස්සුදැයි ඇසිය හැකිය. රනිල් කළ හොඳ සියල්ල ඇමති ලෙස කාගේ හෝ පාලන කාලයට අයත්ය. තරුණ සේවා සභාව යනු 1967 අංක 11 දරන පනතේ දිගුවකි. කරු ජයසූරිය හෝ පොන්සේකා 2015 ජනාධිපති වුණා නම් අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවේ සෙල්ලම් දාන්නේ නැත. සිරිසේනට රනිල් මෙහෙයවීමේ හයියක් නොතිබිණ. විධායක ජනාධිපති වී පළමු රාත්‍රියේම ගෝඨාභය හමුවන තරමට කොඳු ඇටය බිඳුණ සිරිසේන, පාස්කු ප්‍රහාරය නොදැන සිටියා නොවේ. විශ්වාස භංගයේදී සිරිසේන කළ කතාවෙන් ඔහු සිටින්නේ කාට මුවාවීදැයි තේරුම්ගත හැකිය. තිලක් මාරපන, වජිර අබේවර්ධන දෙදෙනාම ඇවන්ගාර්ඩ් සමාගම වෙනුවෙන් යහ පාලන ආණ්ඩුව කඩේ යැවූහ. රනිල්ගේ නායකත්වයේ බුද්ධිමහිමයේ දිග පළල එසේය. මානවම්ම ගැන දන්නේදැයි ඇසූ විට, ආන්න රනිල් කියා සමහරු චූන් වූහ. එහෙත් පස්දුන් කෝරළයට නම ලැබුණ හැටි කියන්නට ගොස් රනිල්ගේ යට ඇඳුම් තෙමී ගිය හැටි රට්ටු දනිති. ඉතිහාස දැනුම කෙසේ වෙතත් රනිල්ගේ දේශපාලන ඉතිහාසය එහෙමය.

රනිල් කළ සාර්ථක වැඩ පිළිබඳ ඔහු බුහුමන් ලැබුවාට පව් නැත. එය හරියටම 2005 මහින්ද ජනාධිපති කරවීමට ප්‍රභාකරන් කළ උදව් වාගේය. අදත් මහින්දලා තුනෙන් දෙක හදා ගන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ උදව්වෙනි. දමිළ මුස්ලිම් කණ්ඩායම් ලවා බලය තහවුරු කර ගත්තාට සිංහල බෞද්ධ නාමයෙන් වාසි ගන්නා රාජපක්‍ෂලා දනගැස්වීමට රනිල් පින් කරලාම නැත. රනිල් යනු මැතිවරණයක් අතර, එක් දිනකින් බිම දමා මහ පොළොවට සමතලා කළ හැකි පරඬැලකි. දිනුවොත් රාජපක්‍ෂලාට ආරක්‍ෂාවකි. බැසිල් රනිල් ගේන්න ගේම් ගහන්නේ ඒ නිසාය.


සාධාරණ සමාජයක් ව්‍යාපාරය ඒකරාශි කළ හමුව තීරණාත්මක වන්නේ මේ හේතු කාරණා අනුවය. කරු ජයසූරිය නායකයා නොවේ. එහි කැඳවන්නා පමණකි. කිසිවෙකු කලබල විය යුතු නැත. ඒ කියන්නේ 2024 පොදු අපේක්‍ෂකත්වය සැබැවින්ම විවෘත බවය. කාට කාටත් වෙන්වූ මහා කාර්යභාරයක් ඇත. කරු ජයසූරිය කැඳවූ මේ සංධානය පොදුවේ තේරුම් ගත යුතු යමක් ඇත. රට වැටී ඇති මේ ප්‍රපාතයට, උද්ගතව පවත්නා ගැටලුවලට හේතුව කොවිඩ් වසංගතය නොවේ. වියත් මග නොවේ. රාජපක්‍ෂ පවුලද නොවේ. මේවා ඉදිමුම් පිප්පුම් රුදා මිස රෝග නිදානය නොවේ. ආධාර මානසිකත්වයෙන් පිස්සු වට්ටා ඡන්ද කඩා ගැනීමේ ප්‍රවනතාව පරාජය කරන තෙක් මේ රට ගොඩගත නොහැකිය. සජිත් ප්‍රේමදාස, මේ විපක්‍ෂ එකමුතුවට එකඟව පැමිණීම හේතු දෙකක් නිසා වැදගත්වේ. පළමුවැන්න මෙතෙක් දෙකට බෙදී සිටි එජාපය සහ සජබය එක තැනකදී හමුවීමය. දෙවැන්න සහනාධාර මානසිකත්වය රජයේ මුදලින් දහස් ගණනින් පූජ්‍යස්ථාන තනමින් සිය ගොඩ ලොකු කර ගන්නා රටට ඔරොත්තු නොදෙන රාපපක්‍ෂ ක්‍රමයෙන් බැහැරව අලුතින් හිතන්නට අවස්ථාවක් උදාවීමය.


රටේ විශ්‍රාමිකයන් හය ලක්‍ෂ හැට දහස් පන්සීයකි. රජයේ සේවකයන් දහනව ලක්‍ෂයකි. සමෘද්ධිලාභීන් විසි ලක්‍ෂයකි. මේ සංඛ්‍යා ලේඛන පසුගිය ජූනි 23 දන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී තහවුරු කළේය. එකතුව හතලිස් පන් ලක්‍ෂ හැට දහසකි. දෙකෝටි විසි ලක්‍ෂයක් වන ජනගහනයෙන් හතරෙන් එකක් මාසිකව රජයේ වැය බරෙන් ජීවත් වන්නෝ වෙති. එහෙව් රටක ඍජු බදු අඩුකර අත්‍යවශ්‍ය භාණ්ඩවලින් ආදායම් ඉපයීම ගැන නව සංධානය කල්පනා කළ යුතුවේ. රටේ බලය ඇල්ලීම පිණිස සුභසාධන උගුල 1953 හර්තාලය හරහා මුලින්ම පාවිච්චි කළේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාය. ඒ හරහා, ආණ්ඩුව දනගස්වා අගමැති ඩඩ්ලි ගෙදර යැවීය. එහෙත් 56 පෙරළිය හර්තාලයේ ප්‍රතිඵලය නොවේ. නැවත ඇන්.ඇම්.ද එක්ව තුනෙන් දෙකක් දිනාගත් 1970 මැතිවරණයේ ආකර්ෂණීය පොරොන්දුව ජනතා බඩගින්නට හඳෙන් හාල් ගෙන ඒමය. 1970-77 කාලයේ ජනතාව බස් නැවතුම්පොළවල සාගින්නේ මිය ගියහ. 1977ට පසුව, ජේ.ආර්. හාල් පොත් ක්‍රමය ඉවත් කිරීමෙන් යම් පෙරළියක් විය. එහෙත් ආර්. ප්‍රේමදාස ජන සවිය පෙන්වා ජනාධිපති විය. බැසිල් රාජපක්‍ෂ ඒ ජනසවිය, සමෘද්ධිය නමින් බෞතිස්ම කොට පවත්වා ගෙන යයි. වර්තමානයේ විසි ලක්‍ෂයක් සමෘද්ධි පවුල් යනු අසූ ලක්‍ෂයක ඡන්ද ප්‍රමාණයකට වැඩි දෙයක් නොවේ. ඊට වැය කිරීමට ණය ගැනීමෙන් පිට උපායක් නැත. ශ්‍රී ලංකාව දිනෙන් දින හිඟමනට වැටෙන හේතුව නව සංධාන පුරෝගාමීන් තේරුම්ගත යුතුවේ.


2024දීත් බ්‍රේස්ලට් දෙන්න කතා කරයි නම්, රස්සා දෙන්න කතා කරයි නම් අපට මේ වලෙන් ගොඩ ඒමක් නැත. සත්‍ය ලෙසම පෙරමුණක් ලෙස සංධානයක් ලෙස පවත්නා සැබෑව රටට අවබෝධ කර දීමට ව්‍යාපාරයක් උවමනාවේ. එය පුද්ගලවාදී නොවේ. වාසි හානි දෙකම ව්‍යාපාරයකට මිස, පුද්ගලයෙකුට ආරෝපණය නොවේ. සාධාරණ සමාජ ව්‍යාපාරය යනු පනස් නව වසරකට පසුව, රටේ යහ පාලනය ඇති කළ මහා ශක්තිය වේ. සමහර සමෘද්ධිලාභි ගම්වල වසර විසිතිස් ගණනක් පැරණි වැල්පාලම් දිරාපත්ව එල්ලී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. සමෘද්ධිය සඳහා සුදුසු පවුල් තේරීමට, උත්සාහ කරන ග්‍රාම නිලධාරීන් ප්‍රාදේශීය සභාකාරයන්ගෙන් පහර කා රෝහල්ගත කළ වාර්තා බොහෝය. බුලත් විටි තිහකට සරිලන මුදලක් සමෘද්ධි නමින් බෙදා දී ජනතාව ගොනාට ඇන්දවීම, ගමේ පොදු පහසුකම් වැඩි කරනවාට වඩා වාසිදායක බව තේරුම්ගත් දේශපාලනය පරාජය කිරීමේ වගකීම නව සංධානය භාරගත යුතුවේ. දියකඩිති තරණය කිරීමට දෙවතාවක් සපත්තු මේස් ගලවන ගම්බද පාසල් දරුවන්ට වැල් පාලමක් හදනවාද, සමෘද්ධිය දෙනවාද තීරණය කරන තැනකට රටේ දේශපාලනය වෙනස් විය යුතුවේ. අනාගතය දරුවන් නම් සංවාදය ආරම්භ කළ යුත්තේ ඔවුන් සමගය. ඒ දරුවන් දෙමාපියන් දැනුවත් කරනු ඇත. ටැබ් දීමට සැලසුම් කරන විට, දරුවන් වඳවේ යයි කියා මාපියන් මුලාකොට ඡන්ද ලබාගත් දේශපාලනඥයෝ අද බලයේ සිටිති. ටැබ් ලැබුණා නම් නොමිලේ වයිෆයි ලැබුණා නම් ඔවුන්ට කොරෝනා වසංගතය අනාගත පරපුරට අභියෝගයක් වන්නේ නැත.


අපට සමෘද්ධිය එපා වැව හදා දෙන්න කී ගම්වැසියෝ මේ රටේ ජීවත් වෙති. මේ කසිප්පු මුදලාලිලා ප්‍රාදේශීය සභාවල බලය ඇල්ලීමට සමෘද්ධිය පාවිච්චි කරති. කොළඹ විපක්‍ෂයේ සගයෝ බලය ලැබුණත් ඒ ක්‍රමවේදයම පාවිච්චි කරති. වෙනස් කළ යුත්තේ මෙය බව නව සංධානය තේරුම්ගත යුතුවේ. කුඩා දැරියන් 200ක් අපයෝජනය කොට පාටි දැමූ අකුරැස්සේ සාරුව සුනිල් මෙන්ම, පළාතක් බියවැද්දූ නූරියේ අතකොටාත් රාජපක්‍ෂලා නියෝජනය කළ ප්‍රාදේශීය සභා සභාපතිවරු වෙති. තඹුත්තේගම ගුරුවරිය දනගැස්වූ එකාත් රාජපක්‍ෂ නිර්මාණයකි. සාරුව සුනිල් සහ අතකොටා යන දෙදෙනාම උථ ගෙදරය. අදත් ඒ පුරුද්දට අපයෝජනයට කුඩා දැරියෝ විකිණෙති. ඒවා මාධ්‍ය උත්කර්ෂයෙන් වාර්තා කරමින් ජනතා මානසිකත්වය විකෘති කරයි. 2005දී ආරම්භවූ කාඩ රාජපක්‍ෂ සංස්කෘතියට 2015දී සාධාරණ සමාජයක් ව්‍යාපාරය තැබූ අඩය රනිල්-සිරිසේන දෙදෙනා එක්ව බුරුල් කළහ. මාදුථවාවේ ගරුතර හාමුදුරුවන් වහන්සේ නිස්සරණාධ්‍යාසයෙන් ආරම්භ කළ ඒ සමාජ මෙහෙවර අවසන් කිරීමේ වගකීම යහපාලනයෙන් සුරක්‍ෂිත රටේ බහුතර ජනතාව සතු ඓතිහාසික කාර්යභාරයකි.


2012දී මාදුථවාවේ සෝභිත හිමියන් සාධාරණ සමාජයක් ව්‍යාපාරය තුළ සිල්ලර දේශපාලන පොරොන්දු තිබුණේම නැත. ඍජු තේමාව යහ පාලනය විය. මහින්ද පරම්පරාවට දිගු කළ ජනාධිපති ධුර කාලය යළි දෙවතාවකට සීමා කළේ යහ පාලනය විසිනි. යහ පාලනය යනු සෝල්බරි ව්‍යවස්ථාවෙන් ජනතාව අත්විඳි අයිතිවාසිකමකි. මිහිරකි. ඒ අයිතිවාසිකම රැකීමට 1970න් මෙපිට කිසිදු දේශපානඥයෙකු ක්‍රියා කළේ නැත. එදා ජේ.ආර්. වර්ජකයන් ගෙදර යැවීය. අද උද්ඝෝෂකයන් නිරෝධායනය කරවති. ආර්. ප්‍රේමදාස, රිචඩ් සොයිසා මරා මුහුදට විසි කළේද ආණඩුවේ වියදමිනි. මාංචු දැමූ සැකකරුවන් පොලිසියෙන් වෙඩි කන්නේ 88-89 කාලයේ ජිනීවා ගිය දේශපාලුවන් භාර රටේය. මේ ඓතිහාසික බිඳවැටීම මාදුථවාවේ හාමුදුරුවන් වහන්සේ යථාවත් කළහ. ඒ හරහා බලයට පත් සිරිසේන-රනිල් දෙදෙනාටම ඒ තේමාව අමතක විය. තනතුරු ලබා මාසයක් ගෙවීමට පෙර, එකෙක් මල්ලීට රස්සාවක් දීමෙන්ද, අනෙකා සිංගප්පුරු චාලි කෙනෙකු ගෙන්වීමෙන්ද සකල ජයග්‍රහණය කෙළෙසූහ. යහ පාලන කාලයේ සජිත් තනි නොකළා කියන්නේද ඒ සිරිසේනමය.


රාජපක්‍ෂලා 2010දී පොන්සේකාට දුන් දසවද නතර කිරීමට, මහා සංඝායා වහන්සේටවත් නොහැකි විය. සෝභිත හාමුදුරුවන් වහන්සේ ඒ සිද්ධිය යහ පාලනය ලෙස විග්‍රහ කළහ. රාජපක්‍ෂ පවුල නැවතත් රට එතැනට තල්ලු කරමින් සිටිති. බැසිල් පාර්ලිමේන්තු ආ දවසේ හන්දි ගානේ රැස් කකා කිරිබත් පිසූ රතිඤ්ඤා පත්තු කළ කිසිවෙකුට නිරෝධායන නීති නැත. අධිකරණයෙන් ඇප දුන් ආණ්ඩු විරෝධි උද්ඝෝෂයන් නිරෝධායනයට යැවූහ. එකිනෙකට පරස්පර මේ සිද්ධි දෙකම දේශපාලනික නොවේ. රටවැසියාගේ අයිතිය සම්බන්ධ කාරණාවකි. 2012 සිට 2015 තෙක් සාධාරණ සමාජයක් කරා ව්‍යාපාරයට කිසිදු දේශපාලනයක් තිබුණේ නැත. මුල්ම සභාව රැස්වූ දවසේ ජාතික පුස්තකාල සේවා මණ්ඩලයට, කරු ජයසූරියත්, සරත් පොන්සේකාත්, වාසුදේවත්, හිරුනිකා ප්‍රේමචන්ද්‍රත් පැමිණි සිටියහ. විශිෂ්ට විදේශ සේවා නිලධාරි ජයන්ත ධනපාලත්, සුදු කොඩි නඩුවේ තීන්දුව විසම්මුතික කළ පී.බී. වරාවැවත් පැමිණ සිටියහ. පැමිණ සිටි දේශපාලනඥයන් කීවේ තමන් පැමිණියේ පුරවැසියන් හැටියට බවය. හෙවත් තම දේශපාලන පක්‍ෂ වෙනුවෙන් නොවන බවය. ඒ ගොඩනැගුණේ සමාජ ක්‍රියාකාරිත්වයකි. එයින් වසර නවයකට පසුව, ජූලි මාසයේම (2021.07.17) දිනයක සාධාරණ සමාජයක් කරා ව්‍යාපාරය, (ජනතා විමුක්ති පෙරමුණ හැර) සකල බලවේගයන් රැස් කරවීය. ජවිපෙය 2015 සටනේදී පවා පොදු වේදිකාවට හෝ ගොඩවුණේ නැත. ගිය සෙනසුරාදා එහි මුලසුන දැරූ කෙනෙක් නැත. එහි ඉස්මතුවුණේ නායකත්වයක් නොවේ. සමාජ බලවේගයකි. සක්‍රිය දේශපාලනයෙන් සමුගත් කරු ජයසූරිය කැඳවුම්කරු විය. කැඳවීම සමග නිකුත් කළ පණිවිඩය විවෘත සංදේශයකි.


2012ට වඩා 2021 වෙනස්ය. අතර කාලය වසර නවයකි. කතා කළ යුත්තේ අලුත් පරම්පරාවකටය. අලුත් ආකාරයකටය. එකතැන පල්වූ අරටු බැස්ස නායකයන්ට මේ අභියෝගයට මුහුණ දිය හැකිද? ප්‍රශ්නය අභියෝගය වන්නේ එයයි. ලංකා පාර්ලිමේන්තුවේ මුල් වරට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමේ අදහස පළ කළ කරු ජයසූරිය යහ පාලන කාලයේ එය පලගැන්වීය. සිරිසේන යහ පාලනය තුළට මහින්ද රාජපක්‍ෂ කැඳවා කළ කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ පරාජය කිරීමට හැත්තෑ අට හැවිරිදි කරු ජයසූරිය ක්‍රියා කළ ආකාරය ගිය සෙනසුරාදා මනෝ ගනේෂන් ලෝබ නැතිව සිහිපත් කළේය. 2024 තෙක් මේ සමගිය බැඳගෙන යාමේ වගකීම මාදු`ථවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් කරු ජයසූරිය දැරිය යුතුවේ. මේ සංධානය ගැන ඇසූ පමණින් ගෝඨා කීවේ ආයෙත් මං එනවා කියාය. රනිල්- මංගලත් සංධානයක් ගැන කතා කරති. මිසටර් ක්ලීන් මිස්ටර් බීන් කොට, 2005 ප්‍රභාකරන්ට පගා දී මහින්ද සමග එක්ව රනිල් විනාශ කළ මංගල, මේ හදන්නේ චන්ද්‍රිකාත්, කුමාර වෙල්ගමත් එකට බැඳ රනිල්ට විකිණීමට නොවේද?


2015දී රටේ ස්ථාපනය කළ යහ පාලනය අදත් රට තුළ සක්‍රිය වෙමින් පවතී. ශානි අබේසේකරලා නිර්දෝෂී වූහ. නිරෝධායනය කළ නායකයන් මුදා හරින තෙක් කළ උද්ඝෝෂණවලට පොලිසිය ළං වුණේ නැත. අධිකරණය පිළිබඳ ජනතාව විශ්වාස කරන්නේ ඒ නිසාය. 20 වෙනි සංශෝධනය ගෙනාවාට රාජපක්‍ෂලාට පරණ සෙල්ලම් දමන්ට නොහැකි බව තහවුරු වී හමාරය. සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ යහ පාලන තේමාවේ රැඳී සිය සටන කරයි නම්, ඒ අභ්‍යාසය 2024ට පාදමක් වනු ඇත. ඒ දෙපිරිසම ඊට කැමති නොවනු ඇත. එජාපයත් සජබයත් අද එක් වේ නම් හෙට පනස් ලක්‍ෂයක මිනිස් පවුරකි. ඒ ජයග්‍රහණ යහ පාලන සංකල්ප පාවා දුන් රනිල්ලා සිරිසේනලා නන්නත්තාර වෙලාය. ආයෙත් දේශපාලන පෙරළියකට සාධාරණ සමාජයක් අවශ්‍ය ඒ නිසාය. 

■ – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න