ජනතාවට අඛණ්ඩව මූල්‍ය සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් රජයට ප්‍රබල ගැටලුවක් පවතින බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

අද (අගෝස්තු 31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

දින 16ක සංචරණ සීමා කාලය තුළ රුපියල් 2000ක දීමනාව ලබා දීම ප්‍රමාණවත් දැයි යන්න මාධ්‍යවේදියකු විසින් විමසන ලදී.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ, මීට පෙර අවස්ථා තුනකදී ම රුපියල් බිලියන 80කට අධික මුදලක් වැය කරමින් රජය රුපියල් 5,000 දීමනාව ලබා දුන් බවය.

ඒ හේතුවෙන්, මේ මොහොතේදී දෛනික ජීවිතය පවත්වා ගෙන යා නොහැකි ජනතාවට සහනයක් වශයෙන් මෙම රුපියල් 2,000 දීමනාව ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

එම මුදල ප්‍රමාණවත් විය නොහැකි වුව ද රජය හැටිය ලබා දිය හැකි උපරිම දායකත්වය මෙම අවස්ථාවේ ලබා දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.