පැන්ඩෝරා ලියකියවිලි ගැන ලොවම කතා කරන්නට පටන් අරගෙන තිබේ.රාජ්‍ය නායකයින් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන් 300 කට ආසන්න ප්‍රමාණයකගේ රහසිගත ධනය,බදු ගෙවීම් පැහැර හැරීම් සහ මූල්‍ය වංචාවන් පිළිබඳව ඉන් අනාවරණය කර තිබේ.

ඇමරිකාවේ වොෂින්ටනය කේන්ද්‍ර කොටගත් සංවිධානයක් ,තවත් සංවිධාන 140 ක් පමණ එකතුව මෙම හෙළිදරව්ව කල පසුව ලොවම අවධානය ඒ කෙරෙහි යොමුවිය.

සුපුරුදු පරිදි වංචාවක් ඇත්නම් රාජපක්ෂවරු එතන ඇත්තා සේම මෙහිදීද රාජපක්ෂ නම සටහන් වී තිබේ.ඒ නිරුපමා රාජපක්ෂගේ නමයි.එහි සඳහන් වන පරිදිම නිරුපමා යනු වත්මන් ජනාධිපතිවරයාගේ ඟාති සහෝදරියකි.එමෙන්ම ඇගේ ස්වාමි පුරුෂයා වන තිරු නඩේසන් යනු සංචාරක ක්ෂේත්‍රයේ මෙන්ම මෙරට රාජ්‍ය තන්ත්‍රය තුල අතිශය සමීප රාජපක්ෂවරයෙකි.

2016 දී රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ශ සමඟ එක් වී “විලා” හෙවත් සංචාරක නවාතැන් ඉදි කිරීමට සම්බන්ධ මූල්‍ය චෝදනාවකටද ඔවුන් ලක් විය.

පැනඩෝරා පත්‍රිකාවල සඳහන් වන නිරුපමාගේ නම යටතේ ,ඇය සහ ඇගේ ස්වාමි පුරුෂයාට හවුල් ව්‍යාපාර කිහිපයක්ම තිබෙන අතර ඒවා යටතේ ලන්ඩන් සහ සිඩ්නි වල තිබෙන සුඛෝපභෝගී නිවාස සංකීර්ණ මිලට ගෙන ඇති අතර,රජය සමඟ ගණුදෙනු කරන බොහෝ විදෙස් සමාගම් වලට උපදේශන සේවාද සපයා තිබේ.

Asia city trust යන සිංගප්පූරු ආයතනය සමඟද තිරු නඩේසන් කටයුතු කොට ඇති අතර ඔවුන්ගේ ගණනයට අනුව නඩේසන්ගෙ වටිනාකම ඩොලර් මිලියන 160 කට අධිකය.නමුත් එහි සත්‍ය අසත්‍යබව අද වනතුරු හෙලිව නොමැත.

එම Asia City Trust ආයතනය සතු වත්කම් වල වටිනකම ඩොලර් මිලියන 18 කට අධිකය.

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ,එමෙන්ම පුටින් ජනපතිගේ සමීප හිතවතුන් කිහිප දෙනෙකු මෙන්ම ජෝර්දානයේ අබ්දුල්ලා රජුගේ නමද මෙහි ඇතුළත්‍ ය.

මේ වන විටත් මෙම ලේඛනවල සඳහන් පුද්ගලයින් පිළිබඳව සොයන ලෙස පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් විසින් උපදෙස් ලබා දී ඇති අතර ,ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුගේ නමද මෙහි සඳහන් වන බැවින් ඒ ගැන සෙවීම ද මෙරට ජනාධිපතිවරයාගේ වගකීමකි.

ඒ ගැන වත්මන් රජය ගන්නා ක්‍රියාමාර්ගය දෙස අපි බලා සිටින්නෙමු.

මිලියන ගණනක තොරතුරු ඇතුළත් මෙම පත්‍රිකාවල ඇති තවත් බොහෝ දේ අද හෙටම ලොවට හෙළි දරව් වනු ඇත.

  • නීතීඥ එරන්ද වැලිඅංගේ –